සත්ත්ව නිෂ්පාදකයන්ගෙන් රතු එළියක්
Friday, 10 June 2022 - 13:59 | Views - 3,351

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂණයකට අනුව ළමුන්ගෙන් 30%කට පමණ ප්‍රෝටීන හීනවීම හේතුවෙන් මන්දපෝෂණ තත්ත්වය ඇති වී තිබෙන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ හා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.
නාගරික පැලැන්තියට වඩා ග්‍රාමීය පැලැන්තිය මේ තත්ත්වය වඩාත් හොඳින් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා පැවසුවේ, කුකුළු මස් හා බිත්තර ඉතා පහසුවෙන් ලාභදායි මිලකට ජනතාවට ලබාගත හැකි බවයි.
නමුත් රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මේ වනවිට නාගරික පැලැන්තියේ උදවියට පමණක් ලැබෙන කුකුළු මස් හා බිත්තර ග්‍රාමීය වැසියන්ට ද ලබාදීමට කටයුතු නොකළහොත් රට තුළ මන්දපෝෂණ තත්ත්වය උග්‍ර විය හැකි බව සභාපති අජිත් ගුණසේකර සඳහන් කළා.
රටේ වියවුල්කාරී පසුබිම තුළ සත්ත්ව නිෂ්පාදන දරුණු කඩාවැටීමකට ලක් වී ඇති අතර, සත්ත්ව ආහාර සඳහා වන අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වී ඇති බවයි එම සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.
ලංකාවෙන් ලබාගත නොහැකි අමුද්‍රව්‍ය වාර්ෂිකව ආනයනය කළ ද, එය මේ වසරේ දී සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.
අවුරුද්දකට සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් අවශ්‍ය අතර, වාර්ෂිකව
ඇමරිකානු ඩොලර් මිලියන තිහක් දැනට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කළ බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග සත්ත්ව නිෂ්පාදනවල මිල ද වැඩිවීමක් ඇති බව පෙන්වා දෙන සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ, තවදුරටත් කුකුළු මස්, බිත්තර ආදි ද්‍රව්‍යවල මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයින්ට මිලට ගැනීමේ තත්ත්වයක් නොමැති බවයි.
මේ හේතුවෙන් රජයෙන් සත්ත්ව නිෂ්පාදන සංගමය විසින් ඉල්ලා සිටින්නේ සිය කටයුතු පවත්වාගෙන යාමට සහනයක් ලබාදෙන ලෙසයි.
Share This Article