රුසියාවෙන් ලැබෙන සියල්ල අහිමි වීමේ අවදානමක් ?
Monday, 06 June 2022 - 11:31 | Views - 1,493

රුසියානු එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පැරණි සමාජවාදී රටවල සහ රුසියාවේ විවිධ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යයන ආයතනවලින් උපාධි ලැබූ වෘත්තිකයන්ගේ සංවිධානයක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
සමාජවාදී රටවල ශ්‍රී ලංකා උපාධිධාරීන්ගේ සංගමය (ASLGSC) ලෙස හැඳින්වෙන මෙම සංවිධානය පෙන්වා දෙන්නේ, අප රට දැඩි ආර්ථික හා දේශපාලන අර්බුද රැසකින් පීඩා විඳිමින් සිටින අවස්ථාවක, මෙන්ම ශ්‍රී ලංකාව දැනටමත් බොරතෙල් සෘජු ආනයනය කිරීම සහ ණය සඳහා මොස්කව් නුවර සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති පසුබිමක මෙම ගුවන් යානයේ ගැටලුව හැකි වහා ම ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීමෙන් විසඳා ගත යුතු බවයි.
උතුරේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී රුසියාව සෑම අංශයකින්ම එහි සිටි බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාවේ දී ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිත ව සහාය දීම ද ඇතුළුව, රුසියාව ලංකා තේ විශාලතම ගැනුම්කරුවා ද වන අතර, අපගේ අපනයන ආදායමෙන් විශාල කොටසක් ආවරණය කරන බව ද මේ ලිපිය හරහා පෙන්වා දෙනවා.
රුසියානු TASS ප්රවෘත්ති ඒජන්සියට අනුව, එරෝෆ්ලොට් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොර ව සිදු කරන ගුවන් ගමන් සම්බන්ධයෙන් පවතින විශ්වාස කළ නො හැකි තත්ත්වයක් හේතුවෙන් කොළඹ වෙත වාණිජ ගුවන් ගමන් මේ වන විට වහාම අත්හිටුවා තිබෙනවා.
මේ තත්ත්වයත් සමග අපගේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන වෙළඳපොලක් වන රුසියාව අපට අහිමි වීමේ අවදානමක් ඇති බවත් එමෙන්ම දශක හයකට අධික කාලයක් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාවට සිටිනා ඉතා හොඳ මිත්‍රශීලී ආධාරකරුවෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු අහිමිවීමේ අවදානමක් කරා ශ්‍රී ලංකාව ගමන් කරන බවත් මෙම ලිපිය හරහා ඔවුන් ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.
ජූනි 02 වැනි බ්‍රහස්පතින්දා එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නැවත රුසියා බලා ආරම්භ කිරීමට නියමිත ව තිබූ ගුවන් සැරියක් අවලංගු කෙරුණේ, කොලඹ වාණිජ මහාධිකරණය ලබා දුන් නියෝගයක් හේතුවෙන්.
ඒ අවස්ථාව වන විටත් යානය මගීන්ගෙන් පිරී තිබූ අතර, මෙම නියෝගයත් සමග ඔවුන්ට යානයෙන් බැස යන ලෙස ඉල්ලා සිටීම නිසා අවසන් මොහොතේ අර්බූදකාරී වාතාවරණයක් වර්ධනය වූණා.
පසුව මෙම ගුවන් යානයේ සිටි පිරිස් තාවකාලිකව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේ ඇති හෝටල් කිහිපයකට යොමු කළ අතර, පසුව ඔවුන් තවත් ගුවන් යානා කිහිපයකින් රුසියාව බලා පිටත් කර හැරීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් මේ සිද්ධියත් සමග එයට බරපතල ලෙස ප්‍රතිචාර දැක් වූ රුසියානු රජය පළමුව මොස්කව්හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවා මේ සිද්ධිය සම්බන්ධයෙන් රුසියාවේ නො සතුට දන්වා තිබුණා.
පසුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි සියලු ම රුසියානු සංචාරකයන් හට දින තුනක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් රුසියානු රජය ඔවුන් නැවත රුසියාවට ගෙන්වා ගැනීම සඳහා මොස්කව්හි සිට ගුවන් යානා දෙකක් අවස්ථා දෙකක දී කටුනායකට යොමුකර තිබුණා.
මෙහි විශේෂත්වය වන්නේ, මෙම ගුවන් යානා දෙක ම ශ්‍රී ලංකාවේ සිටින රුසියානු සංචාරකයන් නැවත ගෙන්වා ගැනීම සඳහාම විශේෂයෙන් වෙන් කළ ගුවන් යානා වීමයි.
මේ සමග මෙරට සංචාරයන්හි නිරතව සිටි රුසියානු සංචාරකයන් ඔවුන්ගේ සංචාර අතරමඟ අතහැර දමා නැවත රුසියාව බලා පිටත්ව ගියා.
සමාජවාදී රටවල ශ්‍රී ලංකා උපාධිධාරීන්ගේ සංගමය (ASLGSC) ජනාධිපතිවරයා හට පෙන්වා දෙන්නේ, මේ වනවිට උද්ගත ව ඇති බරපතල තත්ත්වය හේතුවෙන් 1961 වර්ෂයේ සිට සෝවියට් සංගමය සහ පසු ව රුසියාව විසින් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ලබා දුන් ශ්‍රී ලාංකික සිසුන් සඳහා වන ශිෂ්‍යත්ව වැඩ වැඩසටහන් ද අහිමි වීමේ අවදානමක් මේ හරහා මතුවිය හැකි බවයි.
මේ වන විටත් රුසියාව ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සඳහා වාර්ෂිකව විවිධ විෂයයන් හැදෑරීමට එරට විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යත්ව හතළිහක් ප්රදානය කරනවා.
Share This Article