අධිකරණ නියෝගයක් මත රඳවා ගැනුණු රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (06) අධිකරණයට පෙත්සමක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතයි.
මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු සමඟ මෙම යානය කටුනායක ගුවන් තොටුපලේදී රඳවා ගැනුනේ පසුගිය 2 වනදා සිටයි.
එලෙස යානය තවදුරටත් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ රඳවා ගැනුණ ද එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ තිස්දෙනා ඊයේ (05) වනවිට මෙරටින් පිටත්ව ගොස් තිබුණා.
උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද එරෝෆ්ලොට් ගුවන් සමාගම පියවර ගනු ලැබුවා.
මේ අතර ජාතික සංවිධාන එකමුතුව ඊයේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබුණා.
ඒ, අධිකරණ නියෝගයක් වැරදි අයුරින් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා - රුසියා සබඳතා බිඳ හෙලීමට පිරිසක් කටයුතු කර ඇති බව දන්වමින්.
එමෙන්ම කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩි.වී ගුණසේකර සඳහන් කළේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.