තුන් වේලක් කන්න අමාරුයි - දෙවේලකට යමු (Video)
Monday, 06 June 2022 - 9:39 | Views - 1,067

දැනට රටේ පවතින අර්බුදයත් සමඟ යුක්රේන අර්බුදය ද තීව්ර වුව හොත් සිදු වන දේ සිතා ගත නො හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.
'රකිමු ජයතු ලංකා' සංවිධානය සහ නිර්මාණාත්මක වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් පසුගිය තුන් වැනි දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලද සමුළුවේ දි යි අගමැතිවරයා මේ බව සඳහන් කළේ.
එහි දී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ අවධාරණය කළා.
“මා හට අද දින දේශනය සඳහා ලබා දී ඇති මාතෘකාව නම් ‘ශ්‍රී ලංකාවේ ද්විත්ව අර්බුදයයි’ මා විසින් මේ අවස්ථාවේ දී අප හට විදේශ විනිමය අහිමි වූ අයුරු සියල්ල තනිවම කර ගැනීමට යෑම සහ රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවගෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන් සහ පසුගිය රජයේ ඇමැති මණ්ඩලයෙන්ද වසන් කළ අයුරු නැවතත් ඔබට සිහිපත් කිරීමට අපේක්ෂා නො කරමි.
මේ අර්බුදයෙන් මතු වූ අනෙක් අර්බුදය නම් දේශපාලනික අර්බුදය සහ රට මේ තත්ත්වයට ඇද වැටීමට හේතු වූ දේශපාලනික ව්‍යුහය පිළිබඳ වූ විශ්වාසය බිඳී යෑමයි. මේ අවස්ථාවේදී අප විසින් එහි ප්‍රතිවිපාක විඳිමින් සිටිනවා. දෙවැනි අර්බුදය නම් යුක්රේන යුද ගැටුම නිසා ඇති වී තිබෙන ගෝලීය බලපෑමයි. මේ වන විට අප එහි ආරම්භක අවස්ථාව වශයෙන් ඛනිජ තෙල් මිල ඉහළ යෑම අත්විඳිමින් සිටිනවා. මේ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු අතට හැරෙනු ඇති අතර ආහාර අර්බුදයක්ද මතු වනු ඇත. එය 2024 තෙක් ගෝලීයව පවතිනු ඇත.
ඉහළ යන තෙල් මිල, තිරිඟු මිල සහ නැවතත් මතුවන රසායනික පෙහොර හිඟයෙන් මුළු ලොවම බැටකන තත්ත්වයට පත්ව තිබෙනවා. කැලිෆෝනියාවේ හා බ්‍රසීලයේද රසායනික පොහොර අර්බුදය මතුවී ඇත. එය පිරිමසා ගත හැකි විධියක් නැත. එමෙන්ම ලොව ආහාර අර්බුදයක් මතුවෙමින් පවතින අතර බෙහෝ රටවල් ආහාර ආනයනය තහනම් කර ඇත. දෙවැනි අර්බුදය මතුවන්නේ එහිදීය.
අපගේ ආර්ථිකය කඩා වැටී ඇත. රාජ්‍ය ආයතන රුපියල් ටි්රලියන ගණනින් පාඩු ලබා ඇත. ශ්‍රී ලංකාවට ප්රතිලාභ නොලැබෙන ව්‍යාපෘති රැසක් ඇත. ප්‍රමුඛතා ලැයිස්තුවක් නොමැති වීමෙන් ප්රශ්නය තවත් දරුණු වී ඇත. විවිධ ආයතන විදෙස් ණය ආධාර යටතේ අත්තනෝමතිකව පොහොර, ඉන්ධන යනාදිය ගෙන්වීමට පටන් ගත්තා. එහෙයින් මුලින්ම අපට ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසීමට සිදු විය.
රටේ ආර්ථිකය කඩාවැටෙන විට රැකියා දහස් ගණනක් අහිමි වනු ඇත. මහා පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යාපාර රැසක් වැසී යමින් පවතී. ඉදිරි කාලයේදී තුන් වේලෙන් දෙවේලකට හුරු වීමට අපගේ ජනතාවට සිදුවනු ඇත.
අප විසින් සාගතය මඟහැරිය යුතුව ඇත. ඒ සඳහා අපගේ මිත්‍ර රටවල සහයෝගය ලබා ගැනීමට සිදුවී ඇත. අප විසින් යුරෝපය ඇතුළු බටහිර රටවල් දෙසද බැලිය යුතුව තිබෙනවා. චීනයට කොවිඩ් වසංගතය සහ ආර්ථිකයේ ඍණ වර්ධනයට මුහුණ දීමට සිදුව ඇති අතර බටහිර රටවල ඉහළ යන උද්ධමනය සහ යුක්රේනයට විශාල වශයෙන් ආධාර කිරීමට සිදුව ඇත.
මෙම අසීරු කාල සීමාව මෙම වසරේ සහ එළැඹෙන වසරේ මැද දක්වා පමණක් පැවැතීමට අප යුහුසුලුව ක්‍රියා කළ යුතුයි. එසේ වුවහොත් 2025 වන විට අපට යළි ආර්ථිකය ගොඩනැඟීම ආරම්භ කළ හැකියි. පෙර පැවැති ස්ථාවර ආර්ථික රටාව සහ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් කරා යළි ළඟා විය හැකියි.
අලුත් ආර්ථිකයේ සියලුදෙනා උපයන විදේශ විනිමය උපයන සහ විවෘත ආර්ථික රටාවකට හුරුවන එකක් විය යුතුයි. පැරැණි ආර්ථික ක්‍රමය අසාර්ථක වී ඇත.
අවසානයේ අප පැමිණෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරාය. ජනපති ක්‍රමය අහෝසි කළහොත් නැවතත් ඉංග්‍රීසි වෙස්ට් මිනිස්ටර් ක්‍රමය කරා යනවාද නැතහොත් සහයෝගිතාව මත පදනම් වූ ඩොනමෝර් ආණ්ඩුක්රමය වැනි රටාවකට හුරුවනවාද?
මේ පිළිබඳව සියලු දෙනාම සිතිය යුතුය. මා විසින් මේ වන විට යෝජනා කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතත් එය මූලාරම්භයක් පමණයි. ඒ ගැන සිහි තබාගෙන මෙය නව ගමනක ආරම්භයක් බවද සිහිපත් කරගන්න. එහෙයින් ඒ සඳහා ගමන් කිරීම අරඹන්න.
Share This Article