පොලිසියට සැර දැමූ මන්ත්‍රී පුතා සහ බිරිඳ තාම නිදැල්ලේ (Video)
Thursday, 02 June 2022 - 14:52 | Views - 443

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම ප්‍රවේශයේදී රාජකාරියේ නිරතව සිටි රථ වාහන පොලිස් නිලධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැනවැදී රාජකාරියට බාධා කළ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා සහ බිරිඳ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ සම්බන්ධයෙන් සිදුවීමට මුහුණ දුන් පොලිස් නිලධාරීන් පිරිස විසින් වීරකැටිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මෙම සිදුවීම හටගත්තේ සිය ඩබල් කැබ් රථයේ පසුපස අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුලුවීමට මන්ත්‍රී පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ උත්සාහ දැරූ අවස්ථාවේදීයි.
මෙහිදී ඔහු සිදු කරන නීති විරෝධී ක්‍රියාව සහ එතුලින් අධිවේගී මාර්ගයට හා එහි ගමන් ගන්නා මගීන්ට සිදුවන අනර්ථය පැහැදිළි කර ඔහුට එම ඩබල් කැබ් රථය අධිවේගී මාර්ගයට ඇතුලු කිරීමට අවසර දිය නොහැකි බව රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් දන්වා තිබෙනවා.
එහිදී කෝපාවිශ්ඨ වූ මන්ත්‍රී පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ රාජකාරියේ යෙදී සිටි අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස බැන වදිමින් පහරදීමට ද උත්සාහ කරන අයුරු එම අවස්ථාවේ එහි සිටි තවත් පොලිස් නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකතනයෙන් රූගත කර තිබුණා.
පසුව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා සහ බිරිඳ එම කැබ් රථය ආපසු හරවාගෙන අධිවේගී ප්‍රවේශයෙන් ඉවත්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප වීරකැටිය පොලිසියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳ පැමිණිල්ලක් සිය පොලිස් ස්ථානයට ඉදිරිපත්ව ඇති බවයි. කෙසේවෙතත් මේ වන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා හෝ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන නැහැ.
ඊයේ සවස සිදුවූ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් මේ දක්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැත්තේ ඉහළ දේශපාලන අධිකාරියක බලපෑම් හේතුවෙන් ද ?
සිය නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී රාජකාරී කටයුතුවලට බාධා පැමිණෙන අවස්ථාවලදී පවා එම නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය මෙතරම් පසුබා සිටින්නේ ඇයි ?
මෙවන් තත්ත්වයක් යටතේ සාමාන්‍ය මහජනතාවට පොලිසිය හරහා බලාපොරොත්තු විය හැක්කේ කුමණ තත්ත්වයේ සාධාරණයක් සහ ආරක්ෂාවක් ද ?
Share This Article