පුංචි අයීෂා අවසන් ගමන් යයි (Video)
Tuesday, 31 May 2022 - 8:54 | Views - 3,110

බණ්ඩාරගම අටුළුගම දී ඝාතනය වූ ෆාතිමා ආයීෂා දැරියගේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.
තමා පසුගිය 27 වැනි දා දැරිය ඝාතනය කළ බවට යි සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙන්නේ.
එලෙස ඝාතනයට ලක්වු නව හැවිරිදි පුංචි ආයීෂා ඊයේ පස්වරුවේ අටුළුගමම හඬවමින් අවසන් ගමන් ගියා.
බණ්ඩාරගම - අටුළුගම ෆාතිමා ආයීෂා අක්රම් දැරිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට පත් වුණේ, කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ පානදුර දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදු කළ විමර්ශනවලට අනුව යි.
දැරියගේ ඥාතියෙකු ද වන 29 හැවිරිදි සැකකරු අවුරුදු තුන, පහ සහ අට යන වයස්වල පසුවන දැරියන් තුන්දෙනෙකුගේ පියෙකු වනවා.
එසේම ඔහුගේ බිරිඳ තවත් දරුවෙකු ප්‍රසූත කිරීමට සූදානමින් පසුවන්නියක් බවයි පොලිසිය සඳහන් කළේ.
තමන් විසින් මෙම දැරිය ඝාතනය කළ බවට ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණයක් ද සිදු කර තිබෙනවා.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ, කුකුළු මස් මිල දී ගෙන යළි නිවසට යමින් සිටි දැරිය දැකීමෙන් පසු තමන්ට කාමාශාවක් හටගත් බවයි.
පසුව ඔහු, දැරිය අදාළ වගුරු බිම් ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇය සැකකරුගෙන් බේරී පලා යාමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇය මව්පියන්ට සිද්ධිය හෙළි කරනු ඇතැයි බියෙන් එම අවස්ථාවේ ආයීෂව ජලයේ ගිල්වා ඝාතනය කළ බවටයි සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙන්නේ.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු වන අතර, මෙම ඝාතනය සිදුකරන අවස්ථාවේ ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේදැයි මෙතෙක් හෙළි වී නැහැ.
ෆාතිමා අයීෂා අක්රම් දැරිය අතුරුදන්ව තිබුණේ පසුගිය 27 වැනිදා නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිල දී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුර යි.
ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව දරුවා සෙවීමට කටයුතු කළ අතර පසුගිය 28 වැනි දා ඇගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයා ගැනුණා.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මුලික රෝහලේ දී අධිකරණ වෛද්‍යවරුන් 3 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණු අතර, එහි දී දැරිය ව අපයෝජනයට ලක් වී නො මැති බව අනාවරණ වුණා.
Share This Article