අල්ලපු රටේ අයියණ්ඩී මට ආරක්ෂාව දෙන්න - විමලවීර හඬා වැටෙයි (Video)
Monday, 30 May 2022 - 11:28 | Views - 503

තමන්ගේ නිවසට හා දේපොළවලට හානි සිදුවීමේ සිද්ධිය සමග තවදුරටත් මෙරට තුළ තමන් හට කිසිදු ආරක්ෂාවක් නොමැති බවත්, තමන්ට ආරක්ෂාව සලසන ලෙසත් හිටපු අමාත්‍ය විලමවීර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටිනවා.
මෝදි යනු සිය අසල්වාසී අයියණ්ඩී බවත්, මේ අවස්ථාවේ දී තමන් හට සිදු වූ අසාධාරණය ගැන සොයාබලා, මෙරට තුළ ආරක්ෂාකාරී ලෙසින් ජීවත්වීමට තමන්ට සලසා දෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලීමක් කරන බවයි හිටපු අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති සමග සිදුකළ සංවාදයක දී ප්‍රකාශ කර සිටියේ.
හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මැයි 09 වැනි දින ගෝල්ෆේස් නිර්පාක්ෂික හා සාමකාමී අරගලයට පහරදීම තමන් වරදක් සේ දකින බවයි.
නමුත් ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරය ගැන තමන් කිසිදු වගකීමක් භාරනොගන්නා බවත්, ඊට කිසිදු සම්මාදන් වීමක් තමන්ගේ නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
හිටපු අමාත්‍ය විමලවීර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැන්නක්..,
''මගේ ගෙදර මගේ අහිංසක අම්මා මැරිච්ච මගේ පුතාගේ පොඩි කෙල්ල සෙල්ලම් කරපු බඩුවලටත් ගිනි තියලා ආවා. මං මදුරුවෙක්වත් මරණ මිනිහෙක් නෙවෙයි. මං උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති මිනිහා..හැබැයි මට මේ රටේ ජීවත්වෙන්න බැරිනම්, මං කියන්නෙ මගේ අල්ලපු රටේ අයියණ්ඩී මෝදිට කියන්නෙ මට ආරක්ෂාවක් දෙන්න කියල...''
මැයි 09 වැනිදින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම්වල දී බොහෝ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ නිවාස හා දේපොළවලට දැඩි හානි එල්ල වුණා.
ගෝල්ෆේස් අරගල භූමියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආධාරකරුවන් විසින් අමානුෂික අයුරින් පහරදීමට එරෙහිව කුපිත වූ ජනයා මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිබත් කිරීමට කටයුතු කළා.
එහිදී අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදී පාර්ලිමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය විමලවීර දිසානායකගේ නිවසට ද අරගලකරුවන් විසින් පහරදී අලාභ හානි සිදු කෙරුණා.
මෙම ක්‍රියාවට එරෙහිවයි විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් තමන්ට රැකවරණයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කරන්නේ.
Share This Article