විදේශ රැකියා ඇමති ජපානයෙන් රැකියා 1000ක් ඉල්ලයි
Thursday, 26 May 2022 - 16:20 | Views - 1,404

ජපන් භාෂා ප්‍රවීණතාවය නොමැති ශ්‍රී ලාංකිකයන් 1000කට ජපානයේ රැකියා අවස්ථා කඩිනමින් ලබා දෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
මෙරට සිටින ජපාන තානාපති භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara ඇතුළු ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (26) උදෑසන හමුවී තිබෙනවා.
එහිදී දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව පිළිබඳ වැඩි අවධානය යොමු කළ බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.
මේ වන විට ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන බැවින් ඉදිරියේදී භාෂා ප්‍රවීණතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ජපානයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ජපානයට ගොස් භාෂාව හදාරා රැකියාවක යෙදීමේ අවස්ථාව, පාසල් හැර ගිය තරුණ තරුණියන් දහසකට ලබාදෙන ලෙසටයි ඔහු ඉල්ලා ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වු ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතා පැවසුවේ වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලබාදීමට ජපානය සෑම විටම කටයුතු කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ජපානය වැඩි කැමැත්තකින් සිටින අතර, ජපානයේ වියපත් ජනගහනය ඉහළ යමින් තිබෙන නිසා මෙම ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් වර්ධනය වන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සෑම විටම ජපානයේ මිත්‍ර රටක් සේ සලකන බව පැවසූ ජපාන භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියා සැන් ප්රැන්සිස්කෝ සමුළුවේදී, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන “නහි වේරේන - වේරානී” යන ධම්ම පද පාඨය උපුටු දක්වමින් ජපානය වෙනුවෙන් කළ කතාව ද සිහිපත් කළා.
විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සදහා ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදී, ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථාවන් ලබාදීම පිළිබදවත් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර ජයිකා ආයතනය හරහා ජපාන භාෂා ගුරුවරුන් මෙරටට එවීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු කෙරුණා.
Share This Article