වැඩි මිලට ඉන්ධන මිලදී නොගන්නැයි ඉල්ලීමක්
Monday, 23 May 2022 - 13:24 | Views - 3,720

උපරිම ධාරිතාවයෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකළද මේ වනවිටත් දිවයින පුරා පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවනවා.
වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවීම් සහ අඛන්ඩ සැපයුමක් පිළිබඳ විශ්වාසයක් නොමැතිවීම හේතුවෙන් පාරිභෝගිකයින් ඉන්ධන විවිධ ක්‍රම ඔස්සේ රැස් කිරීම ඊට හේතුවී ඇති බව සඳහන්.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේ පිරවුම්හලකින් හැර වෙනත් පාර්ශවවලින් ඉන්ධන ඇතුලු ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙසයි.
විවිධ පුද්ගලයන් ඉන්ධන එක්රැස් කර, ඒවා වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන බවට විමර්ශනවලදී හෙළිවීම ඊට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළා.
එබැවින් එවැනි ව්‍යාපාර දිරිමත් නොකරන ලෙසත්, එලෙස කූට ව්‍යාපාරවල නිරතවන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දැනුම්දෙන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත්වන බව ප්‍රාදේශීය ලේකම්වරු පවසනවා.
ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම වෙනම පිරවුම්හල් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් දුන් උපදෙස් අනුව වෙන් කළ බවයි.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ලිඛිත නිර්දේශයක් මත එම සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා.
කෙසේ වෙතත් මේ වනවිට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ තනතුර අහෝසි වී ඇති බැවින් එම තනතුරෙන් ලබාදුන් උපදෙස් තවදුරටත් වලංගු නොවන බවයි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ.
ඒ අනුවයි සියලු ප්‍රාදේශීය සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් පිරවුම්හල් මගින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට කිසිදු ආකාරයකින් මැදිහත් නොවීමට තීරණය කර ඇත්තේ.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාව සඳහා යොදවා සිටි 19 හැවිරිදි යුද හමුදා සෙබළෙකු එම පිරවුම්හල අසළ පිහිටුවා ඇති ආරක්ෂක අංශ විවේකාගාරයේදී සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.
මොහු රාජකාරි කටයුතු අවසන් කර අදාළ විවේකාගාරය වෙත ගොස් විවේක ගනිමින් සිටින අතරතුර මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
කෙසේ වෙතත් සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර අදත් දිවයින පුරා ස්ථාන 420 කදී ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ලිට්රෝ සමාගම සඳහන් කළා.
කෙසේ වෙතත් තවදුරටත් දිවයින පුරා ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.
Share This Article