සාමාන්‍ය පෙළ විභාග රාජකාරියේ නියුතු ගුරුවරුන්ට නිවාඩු නෑ
Friday, 20 May 2022 - 8:36 | Views - 1,189

රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍යම සේවකයන් හැර අනෙකුත් රජයේ සේවකයන්ට අද (20) නිවාඩු ලබාදීමට රජය තීරණය කළා.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ අතර, පසුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබුවා.
අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර අනෙකුත් රජයේ නිලධාරීන් හෙට සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව එහි දැක්වෙන අතර, හදිසි හා අත්‍යවශ්‍ය රාජකාරී සඳහා නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන ආයතන ප්‍රධානියාගේ අභිමතයට මෙය බාධාවක් නොවිය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව මේ වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර ඊයේ දිනයෙන් අවසන් කෙරෙනවා.
පළමු පාසල් වාරයේ දෙවන අදියර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ලබන ජුනි මස 06 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිතයි.
අද පාසල් නිවාඩු දිනයක් වූවත්, සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවල නිරත කාර්ය මණ්ඩලයට මීට පෙර යොදාගත් පරිදි සේවයට වාර්තා කරන ලෙසටයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article