ගමක් එලවන්න ඇවිත් නාලා කාලා ගිය අය කියන අලුත්ම කතාව
Saturday, 14 May 2022 - 9:46 | Views - 2,269
ගෝඨාගෝගම ආරම්භ වූයේ ඉකුත් අප්‍රේල් මස 09 වැනිදාය. මැයි 9 වැනිදා වන විට ඊට මසක් පමණ ගතවී තිබිණි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඒ දිනයේදීම අරලියගහ මන්දිරයට රැස්වූ පිරිස කුපිත වී ප්‍රහාරයක් දියත් කිරීමය.
 
මේ ප්‍රහාරයට නායකත්වය දුන් වැඩි පිරිසක් පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් වීමද මෙහිදී කැපීපෙනුණි. මැති ඇමැතිවරු කිහිපපොළක්ද ඊට සම්බන්ධ වී සිටියහ. ඔවුන් සියලුදෙනා අරගලකරුවන්ට පහර දෙන්නට වූයේ මිනිස්කම ගැන කිසිදු තැකීමක් නොකරය. ඇතැම් පිරිස් පූජකතුමන්ලාට පවා පහර දුන්නේ අමනුෂ්‍යයන් මෙනි.
 
“ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ අපේ මේ භුමිය තුළ සිටියේ බොහොම සුළු පිරිසක්. වැඩිම වුණොත් 50ක් විතර වගේ ඉන්න ඇති.”
 
“මේ වෙලාවේ තමයි ඔවුන් අමානුෂික විදිහට අපට පහර දෙන්න පටන් ගත්තේ. පන්සියයකට වැඩි පිරිසක් පොලු මුගුරු අරගෙන කඩා පැන්නා. දන්න දන්න අයට ගැහුවා. ගිනි තියන්න පටන් ගත්තා. ඒක හරිම බිහිසුණුයි.”මෙසේ කීවේ අරගලය පටන්ගත් දා සිටම දිවා රෑ නැතිව වෙහෙස මහන්සි වී අරගලයේ වැඩකටයුතුවලට පූර්ණ දායකත්වය ලබාදෙන තරුණයකු වූ නීල නුවන්ය.
 
“මේ පිරිස මුලින්ම ගැහුවේ මයිනාගෝගම ඉන්න අයට. ඊට පස්සේ තමයි මෙහෙට ආවේ. එදා අපි ළඟ පොලු කෑල්ලක්වත් තිබුණේ නැහැ. ඒ නිසාම හිටපු කිහිපදෙනා මිනිස් දම්වැලක් විදියට අත්වැල් අල්ලගෙන ඔවුන්ගේ ගමන අවහිර කරන්න තීරණය කළා. නමුත් වැඩක් වුණේ නැහැ.
 
පොලුත් මයිනාගෝගම අට්ටාල කඩා අතට ගත් යකඩ බටත් අතැතිව ආ මැරයෝ ඉවක් බවක් නැතිව තරුණ පිරිසට පහර දුන්නේ පරුෂ වචනයෙන් බැන වදිමිනි. ඇතැමුන් ‘නීලක’ ඇතුළු ගෝඨාගෝගම අරගල භූමියේ ක්‍රියාකාරී පිරිසකගේ නම් කියමින් මේ ඉන්නේ මූ තමයි ගහපිය මූට යැයි කෑගසා කීවේය.
 
නම් කියන කොට තේරුණා කලින් ඇවිත් ඒ ගැනත් සොයා බලා තියෙනවා කියලා.
 
කොහොම හරි මට පහර දෙන කොට මම ආරක්‍ෂා වෙන්න හිතාගෙන පුස්තකාලය ඇතුළට දිව්වා. ඒ යද්දී තවත් එකෙක් ඇවිත් පුස්තකාලයට ගිනි තියමු කියලා කෑගහගෙන ඇතුළට රිංගුවා. මම මිනිහා එක්ක පොර බදලා අහුවෙන හැමදේකින්ම ගැහුවා. එතකොට ඒකා දිව්වා. නැතිනම් පුස්තකාලයට ගිනි තියනවා.
 
මේ වෙද්දී ගෝඨාගෝගම අරගල භූමියේ තිබුණේ එකම එක ගාලගෝට්ටියක්. එමෙන්ම ගිනි ගන්නා අට්ටාල අතර ප්‍රහාරයට ලක්වූ පිරිසගේ අ‍ෙ¼දා්නාය. ඇතැමුන් පහර දෙන අතරේදීත් කෑ ගසා කීවේ ‘මරපියව්… අපි මෙතැනින් යන්නේ නෑ’ කියාය.
 
කොහොම හරි මේ වෙද්දී අපේ යාළු මිත්‍රයෝ හුඟාක් දෙනෙක් පහර කෑමට ලක්වෙලා. තරුණ ගැහැනු ළමයි පවා වේදනාවෙන් කෑමොර දෙන හඬ අපිට ඇසුණා. නමුත් ඒ හැමදේම තිබුණ් පැය භාගයක වගේ කාලයකට විතරයි.
 
එක පාරටම ගලධාරි හෝටලය පැත්තෙන් වගේම හැම පැත්තකින්ම ජනතාව ඇදී එන්න පටන් ගත්තා. අන්තිමට ඒක අපිටත් අදහාගන්න බැරි තරමේ පුදුමාකාර දෙයක්.
 
මෙසේ පැමිණි පිරිස පොහොට්ටු පක්‍ෂ සාමාජිකයන්ට එළව එළවා පහර දෙන්නට පටන් ගත්තේ දැඩි කේන්තියකිනි.
 
‘ආවද අපේ එවුන්ට ගහන්න…?’ මෙසේ කියමින් ජනතාව අරලියගහ මන්දිරයේ සිට පැමිණි මෘග දාමරික පිරිසට පහරදීමට පටන් ගත්තේ ප්‍රහාරයට වඩා ප්‍රතිප්‍රහාරයේ ප්‍රබලත්වය විදහා පාමිනි.
 
අපිට හිතාගන්න බැරි වුණා සිද්ධ වුණේ මොකක්ද කියලා. ටයි දාපු, ඒ වගේම ලොකු ලොකු තනතුරු දරන පවා අය අර මැර පිරිසට පහර දුන්නේ ඒ අයගේම අතේ තිබුණු පොලු උදුරාගෙන.
 
ඇත්තම කිව්වොත් ඒ ප්‍රහාරවලින් පසුව තමයි අපේ ජීවිත රැකුණේ…
 
මේ වෙද්දී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කැඳවා තිබූ පොහොට්ටුවට හිතැති මැර දේශපාලනඥයන් මෙන්ම සාමාජික සාමාජිකාවෝ හිස් ලූ ලූ අත දුවන්නට පටන් ගත්හ. එහෙත් ඔවුන්ට වැඩි දුරක් එසේ දිව යන්නට නොහැකි විය.
 
අපි ඇත්තටම මේ සිදුවීම දැක්කේ නැහැ. අපිටත් හිතාගන්න බැරි වුණා මොකක්ද ඒ වුණේ කියලා. අරගල භුමියට පහර දෙන්න ආපු අය බේරේ වැවට බස්සවලා තියෙනවා කියලා තමයි ඒ වෙලාවේ අපිට දැන ගන්න ලැබුණේ.”
 
එසේ කීවේ ළහිරු වීරසේකරය. ඔහු කලක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස අගනා සේවයක් කර සරසවි සිසුවෙකි.
 
“ඇත්තටම එදා පොලිසියෙන් නම් අපිට සහයෝගයක් ලැබුණේ නැහැ. පොලිසිය කඳුළු ගෑස් ගැහුවෙත් අපේ ඉන්න තැනට. ජල ප්‍රහාර එල්ල කළෙත් අපිටමයි.
 
අර ආපු මැර පිරිස නවත්වන්න පොලිසියට හොඳටම හැකියාව තිබුණා. ඒත් ඔවුන් ඒ රාජකාරිය  නිසියාකාරව කළේ නැහැ. මේ අහල පහළ කාර්යාලවල සේවය කරමින් සිටිය ජනතාව හා අහල පහළ අය තමයි අපේ උදව්වට හිටියේ. ඔවුන් අපේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටියා.”
 
ළහිරු පවසන්නේ මේ වෙද්දී අරගල භුමියේ ඇත්තේ අනාරක්‍ෂිත තත්ත්වයක් බවය. ඒ හදිසි නීතිය හා ඇඳිරි නීතිය ප්‍රයෝජනයට ගනිමින් රජය ආරක්‍ෂක හමුදාවලට ලබාදී ඇති නියෝග හේතුවෙනි.
 
“හමුදාව සිවිල් පාලනය ගැන දන්නේ නැහැ. දැන් මේ අරගල භුමිය පුරාම ඉන්නේ හමුදාව. පොලිසිය නැහැ. ඉතින් ඒ තත්ත්වය එතරම්ම හොඳ නැහැ” ළහිරු කීවේය.
 
‘ගෝඨාගෝගම’ අරගල භුමියට පහරදීමට පැමිණි බොහෝ මැරයෝ කොළඹින් පිටත ජීවත්වන අයයි. ඒ පිරිස පහර දුන් ජනතාවගෙන් වැඩිදෙනා කොළඹ නගරය ආශි්‍රතව ජීවත්වන අයයි. මේ ඒ අතරින් කිහිපදෙනකු අප සමඟ පැවැසූ උද්වේගකර අදහස් කීපයකි.
 
“කොළඹට ඇවිත් ලොකු සීන් දාලා එහෙම යන්න දෙන්න බැහැනේ මහත්තයා. අනික මේක අසාධාරණ ප්‍රහාරයක්. ඒ කොල්ලෝ කෙල්ලෝ අරගල භූමියේ ඉඳගෙන ඉල්ලන්නේ අපිට තියෙන ප්‍රශ්නවලට විසඳුම්නේ. “ගෝඨා ගෝ හෝම්” කියලා අද නොකියන්නේ කවුද? ගෙදර කුස්සියේ ඉඳලම මිනිස්සු ඉල්ලන්නේ ඒකනේ.
 
ඉතින් මුළුමහත් ජනතාවක් අරගල භුමියේ ඉන්න අයට සපෝට් කරද්දී මේ බී ගත්ත කුලී වහල්ලු ටිකක් ආවා උන්ට ගහන්න. ඒ නිසාම තමයි මහත්තයා නැති වෙන්නම දුන්නේ” අපිට හමු වූ පිරිස් එසේ කියා තවත් බොහෝ දේ කීවේ සිනාසෙමිනි.
 
පිටකොටුව ආශි්‍රතව ජීවත්වන එමෙන්ම වෙළෙඳාම් කටයුතු කර මේ පිරිස ගමෙන් ආ මැරයන්ට කියා දුන්නේ අමතක නොවන පාඩමකි.
 
“කාන්තාවන්ට ලොකු දඬුවම් දුන්නේ නැහැ. මොකද සමහරු අඬලා කිව්වා අපි ආවේ සමෘද්ධිය නැති කරන නිසා. රස්සා නැති කරන නිසා කියලා. ඒ අය ඇඬූ­ කඳුළින් වැඳලයි එහෙම කිව්වේ. අපි ඒ අයට යන්න දුන්නා. සමහර ගෑනු අය හැසිරුණේ චණ්ඩි වගේ. එහෙම උන්ව බේරෙට දැම්මා. ලොකු ලොකු පාට් දැමූ හැමෝම වතුරට දැම්මේ ආපසු මේ වගේ ගමන් නොඑන්නයි.”
 
බේරේ වැවට ඇද දැමූ බොහෝ දෙනා ඒ අපිරිසුදු ජලයේ පැය ගණනාවක් නිරාහාරව කාලය ගත කළේ ගොඩබිම සිටි පිරිසට තමන්ට යන්න දෙන ලෙස බැගෑපත් ස්වරයෙන් ආයාචනය කරමිනි.
 
“ආ…. බීපිය මේ තේ. කාපිය මේ බිස්කට්…” ගොඩබිම සිටි පිරිස තවත් විටෙක තේ කෝප්ප සහ බිස්කට් ලබාදුන්නේ වතුරේ සිටියදීම ඒවා පානය කරන අයුරු තුටුසිතින් බලමින්ය.
“ඇත්ද තොපිට? දැන් යන්න ඕන එකෙක් ඉන්නවා නම් වැව දිගේම පීනලා පල හම්බන්තොටට.” කොළඹ ඇත්තෝ එසේ කියා කෑ ගැසූහ.
 
“අන්තිමට රැයත් ගෙවුණට පස්සේ තමයි නාවික හමුදාවේ මහත්තුරු ඇවිත් මේ අයව ගොඩට ගත්තේ. නැත්නම් මුන් වතුරේම මැරෙනවා.
 
අර කොළඹම ඉන්න කහඳගම ලොක්කට වෙච්ච දේ දැක්කනේ. මොරටුවේ නගරාධිපති සමන්ලාල්ට වෙච්ච දේ දැක්කනේ. මේ අය හිතාගෙන හිටියේ කොළඹ හින්දා ඒ අයටත් ගැලවිල්ලක් තියේවි කියලා. එහෙම නැහැ. ජනතාව මේ වෙලාවේ දුක්විඳින ප්‍රශ්න හින්දා මුන් එක්ක යකා නැඟලා ඉන්නේ”
 
අරගල භූමියේ ජීවත්වන බොහෝ අයගේ අදිටන වී තිබෙන්නේ කිසිවකුටත් හිංසාවක් නොවන පරිදි තම සටන අවසානය දක්වා දියත් කිරීමටය. එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුරු අතහැර යනතුරු තම සටන අත් නොහරින්නටය.
 
“අපි එහෙම සාමකාමීව මේ සටන ඉදිරියට අරන් යද්දී තමයි මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගේ උසිගැන්වීම මත එදා ඒ පිරිස මෙතැනට ආවේ.
 
ඒ ඇවිත් මුලින්ම ගිනි තිබ්බේ කලාගාරයට. ඊට පස්සේ හැම හට් එකක්ම කැඩුවා.  කූඩාරම්වලට ගිනි තිබ්බා. ගෝඨා ගෝ ගමේ සෝලා පද්ධතියක් සවි කරපු මල්ලිට පවා ගැහුවා. අනුරංග සහෝදරයාට ඔළුවට ගැහුවේ මැරෙන්නමයි.
 
මේ වගේ තවත් සහෝදර සහෝදරියෝ විශාල ප්‍රමාණයක් තුවාල සහිතව රෝහල් ගත වුණා. නමුත් දැන් හුඟාක් දෙනෙක් ප්‍රතිකාර ලබාගෙන මෙතැනටම ආපසු ඇවිත් ඉන්නවා. දැන් ඒ හැමෝම පෙර පරිදිම වැඩ.
 
අපි මේ ප්‍රහාරයෙන් පස්සේ එක දෙයක් දැන ගත්තා. ඒ තමයි අපේ රටේ ජනතාවට අපිට කොයිතරම් ආදරේද කියලා. මොකද අපිට ගහපු හැමෝටම ඒ අය හොඳින් සැලකුවා. ලොකුම ලොකු පාඩමක් කියා දුන්නා” එසේ කීවේ නීලකය.
 
එදා අරලියගහ මන්දිරයේ තිබූ රැස්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස් රථ ගණනාවක් පැමිණ තිබිණි.  එමෙන්ම තවත් සැලකිය යුතු සැහැල්ලු වාහන රැසක් මෙහි පැමිණ තිබුණේ දේශපාලන අඳබාලයන් රැගෙනය.  මේ වාහනවලින් නැවත නිරුපද්‍රිතව ගියේ කුමන වාහනයදැයි තවමත් නිශ්චිතවම කිව නොහැකිය. එසේ පැමිණි බස්රථ කිහිපයක් හා තවත් ප්‍රාඩෝ වර්ගයේ වාහන රැසක් බේරේ වැවේය.  තවත් ඒවා කුඩුපට්ටම් වී මහ මඟය. මීට අමතරව ඒ බස්රථවලින් කොළඹ රැස්වීමට  පැමිණි පිරිසගෙන් වැඩිදෙනා පවා සැඟවී සිටින්නේ ඥාති හිත මිත්‍රාදීන්ගේ නිවෙස්වලය.
 
අපේ රටේ සිදු වූ බොහෝ ජන අරගල අතරින් වැඩි දෙනාගේ කතාබහට ලක්වී තිබුණේ 1953 ජනතා අරගලයයි.  එහෙත් ඒ පිළිබඳව දන්නා කියන අයගේ මතයට අනුව 2022 වසරේ සිදුවූ මේ ජන අරගලය ඊටත් වඩා විශේෂිතය. ඒ විශේෂත්වය තවත් හොඳින් පෙනෙන්නේ ජනතා සහභාගිත්වය  හා ජනතා ප්‍රතිචාරය. ඒ ප්‍රතිචාරයේ ඇති ප්‍රබලතාව හා වටපිටාව  අමන දේශපාලනඥයන්ට හඳුනාගැනීමට නොහැකි වීම කනගාටුවට කාරණයකි. ජන විඥානයක් නැති මේ මෝඩ දේශපාලකයන් සැබෑ ජනතා ප්‍රශ්න ඉදිරියේ පෙනී සිටින්නේ අඳබාලයන් ලෙසටය.
 
“ඔවුන් අපිට ගැහුවා. අපි පොලු අතට ගත්තේ නැහැ. ඔවුන් අපේ අරගල බිමේ තිබුණු බොහෝ දේ කඩා බිඳ දැම්මා. ගිනි තිබ්බා. ඒත් අපි ඒවා පැය දෙකක් යන්නට මත්තෙන් ආපසු හදන්න පටන් ගත්තා.
 
රතු කුරුස සංවිධානයේ අට්ටාල හැරෙන්නට ශාන්ත ජෝන් සහ ආයුර්වේද අට්ටාලත් ඔවුන් කඩා දැම්මා. ඒ හැම එකක්ම දැන් යථා තත්ත්වයට පත්වෙලා. ඇත්තටම අපි මේ හැම දෙයක්ම කරන්නේ ජනතා සහාය ඇතිවයි.
 
අපේ ආරක්ෂාවට මේ රටේ ජනතාව ඉන්නවා. ඒක අපිට ලොකු සතුටක්” අරගල භූමියේ ඉන්නා පිරිස කියන්නේ සතුටිනි.
 
ගෝඨා ගෝ ගම දැන් වෙනදාටත් වඩා ශක්තිමත්ය. වෙනදාටත් වඩා උදේ‍යාගිමත්ය.  ඒ අඳබාල  දේශපාලනඥයන් හා ඔවුන්ගේ හෙන්චයියන්ට වඩා මේ භූමියේ ඉන්නා පිරිසගේ අරමුණු යහපත් නිසාය. එහෙත් අවාසනාව නම් මේ අරගල භූමියේ හා එහි ඉන්නා පිරිසගේ අර්ථය නොදැන පිටතින් දකින දේ ප්‍රයෝජනයට ගනිමින් ගෝඨාගෝගම ගැන ප්‍රකාශ නිකුත් කරන අදහස් දක්වන පිරිසක් සිටීමය. ඔවුන් ගැන සෑමවිටම ඇත්තේ කනගාටුවකි.
 
සමන් ප්‍රියංකර නම්මුනිගේ  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top