ඇඳිරිනීතියට ලද විරාමය
Thursday, 12 May 2022 - 8:57 | Views - 1,984

දැනට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (12) පෙරවරු 07 ට ඉවත් කර පස්වරු දෙකට යළි පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ යළිත් ඇඳිරි නීතිය අද පස්වරු දෙකේ සිට හෙට පෙරවරු 6 දක්වා බල පැවැත්වෙන බවයි.
ඒ අනුව බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත අවසර පත්‍රයක් නොමැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට අවසර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
මේ අතර, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න අතිරේක කොමසාරිස්වරු ලෙසත් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික් 25 හිම ලේකම්වරුන් පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
මේ අතර, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ.රත්නසිරි එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර තිබෙනවා.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ අද දිනයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය ක්‍රියාත්මක නොකරන බව මහජනතාවට දැනුම් දෙනවා.
අද දින එක්දින සේවය සඳහා වේලාව වෙන්කරගත් ඉල්ලුම්කරුවන් සඳහා රජයේ වැඩ කරනු ලබන වෙනත් ඕනෑම දිනයක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක නිවේදනය කළේ.
Share This Article