රැඳවියන් 58 දෙනෙකු අතුරුදන් (Video)
Tuesday, 10 May 2022 - 14:34 | Views - 1,431

ඉදිකිරීම් ආයතනවල සේවයේ යොදවා සිටි රැදවියන් 58 දෙනෙකු අතුරුදන් බව බන්ධනාගාර මූලස්ථානය ප්‍රකාශ කළා.
ඔවුන් පිළිබදව තොරතුරු දන්නේ නම් කිසිදු හිංසාවක් සිදුනොකර නැවත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදෙන ලෙසයි එම මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගාලුමුවදොර ආශ්‍රිතව ඊයේ (09) ඇති වූ කලහකාරී තත්ත්වය සහ එහි ඇති වූ ගැටුමට බන්ධනාගාර රැදවියන් පිරිසක් සහභාගි වී ඇති බවට මේ වන විට කතාබහට ලක්වනවා.
ඒ, බන්ධනාගාර රැදවියන් බවට සැලකෙන පිරිසක් ජනතාව විසින් රදවාගෙන ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමගයි.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක අද (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර, එහි දැක්වුණේ රැදවියන් පුනරුත්ථාපන ක්‍රියාවලියට අනුව වැඩසහන ක්‍රමය යටතේ වටරැක බන්ධනාගාරයේ රැදවියන් 180 දෙනෙකු, කොල්ලුපිටිය, රාජගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවල ඉදිකිරීම් ආයතනවල සේවය සඳහා යොදවා තිබූ බවයි.
ඊයේ පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමෙන් පසු මෙම නේවාසිකයින් නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන ඒමේදී මාළඹේ - තලාහේන ප්‍රදේශයේදී කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිසක් එම බස් රථ වෙත ප්‍රහාර එල්ල කර ඇති බව ඔහු සදහන් කළා.
මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට හා නේවාසිකයින්ට තුවාල සිදුවී ඇති අතර නේවාසිකයින් 123 දෙනෙකු ආරක්ෂිතව රඳවා ගැනීමට හැකි වී ඇති නමුත් 58 දෙනෙකු මග හැරී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
එබැවින් මෙම රැඳවියන් උද්ඝෝෂණය කරනු ලබන පිරිස් වෙත පහරදීමට යොදවාගෙන ඇති බවට පළ වන පුවත් අසත්‍ය බව පෙන්වා දෙන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කිසිදු නීතිවිරෝධී කටයුතුවලට මෙම රැඳවියන් සහභාගි කර නොමැති බවට තහවුරු කරන බවයි සදහන් කළේ.
Share This Article