පහර දීම හෙළා දකිනවා - ජනපති
Monday, 09 May 2022 - 15:00 | Views - 317

මේ වන විට කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වයන් සහමුලින්ම හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.ඔහු එම පණිවිඩයෙන් වැඩිදුරටත් පවසන්නේ, රටේ පවතින අර්බුද සමනය කර ගැනීමට ගැටුම් කිසිසේත් උපකාරී නොවන බව යි.දේශපාලන පක්ෂපාතිත්වය නොසලකා ගැටුම්වලට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසත් එම ගැටුම් වහා ම පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පණිවිඩය හරහා ආරක්ෂක අංශ වෙත දැනුම්දුන් බව පවසනවා.ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, මේ අවස්ථාවේ දී සියලු රටවැසියන් සාමකාමී ව හැසිරෙන ලෙසට යි.
එසේම අගමැතිවරයා විසින් මේ වනවිට ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබා තිබෙනවා.
අද උදෑසන අරලියගහ මන්දිරයට පැමිණ ඉතා ම සාමකාමී ලෙස විසිර ගිය ජනතාව අතරට එකතු වූ කිසියම් පිරිසක් විසින් ඉතා ම සංවිධානාත්මක ලෙස ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ප්රජාතන්ත්රවාදය, විරුද්ධ මතයට ගරු කිරීම, සංවාදය මිස ප්රචණ්ඩත්වය මගේ ප්‍රතිපත්තිය නොවේ.
පසුගිය සමයේ එම ප්රජාතන්ත්රවාදී අයිතිය විපක්ෂ කණ්ඩායම් උපරිමයෙන් භුක්ති විඳිනු දැකගත හැකිවිය. එහෙයින් මෙම අවස්ථාවේ කිසිදු ගැටුමකට සම්බන්ධ නොවන ලෙසත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහයෝගය ලබා දෙමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් මහ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

Share This Article