හෙට සිට විරෝධතා සතියක්
Sunday, 08 May 2022 - 8:45 | Views - 5,267

පවතින තත්ත්වයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට හෙටට (09) මාසයක් සම්පූර්ණ වනවා.
ඊට සමගාමීව හෙට සිට ඇරඹෙන සතිය දිවයින පුරා විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද ක්‍රියාත්මක කෙරෙන්නේ 30 වන දිනටයි.
මාසයක් පුරා ක්‍රියාත්මක මෙම විරෝධතාවයේදී මෙතෙක් සැලකිය යුතු මට්ටමේ කළහකාරී තත්ත්වයන් ඇති නොවූ අතර කඳුලු ගෑස් එල්ල කිරීම වැනි මර්දන ක්රියාවලීන්වල නිරත වීමට පොලීසියට සිදු වුණේ නැහැ.
පසුගිය අප්‍රේල් 9 වනදා ආරම්භ වූ විරෝධතාවය අව් වැසි නොතකා මෙතෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර තරුණයන්, කලාකරුවන්, වෘත්තිකයන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නියෝජිතයන්, මෙන්ම භික්ෂූන් වහන්සේ ඇතුලු සර්ව ආගමික පූජකයන්ද මෙම අරගලය සමග එක් වුණා.
සාමාන්‍ය විරෝධතා ක්‍රමවේද ඉක්මවා යමින් ප්‍රථම වරට පෙරහැර, චිත්‍ර, ගායන, නර්ථන සහ නාට්‍ය ඇතුලු විවිධ කලාත්මක අංගයන්ගෙන් විචිත්‍රවත් වූ නිර්මාණශීලි අරගලයක් ලෙස මෙම ගාලුමුවදොර විරෝධතාවය පැවැත්වීම විශේෂත්වයක්.
ජාති ආගම් භේදවලින් තොරව පසුගිය සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ සහ රාමසාන් උත්සවයේ චාරිත්‍ර ඉටු කිරීම ද මෙම අරගල භූමියේදී සිදු කෙරුණා.
ඒ අනුව ඊයේ රාත්‍රියේත් විරෝධතාවය සඳහා විවිධ පිරිස් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට අට්ටාල කිහිපයක් තුල පැවැත්වෙන විරෝධතාවයද තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මීට අමතරව ඊයේ රාත්‍රීයේත් දිවයිනේ විවිධ ප්‍රදේශ වල විරෝධතා සංවිධානය කර තිබුණා.
රට තුළ පවතින අර්බුදයට සහ හදිසි නීතිය පැනවීමට විරෝධය පළ කරමින් මෙම සතියේදී විරෝධතා සංවිධානය කරන බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට අයත් වෘත්තීය සමිති සඳහන් කළේ.
Share This Article