කොළඹ මාර්ග කිහිපයක වාහන නවත්වන්න අද අවසර නැහැ
Sunday, 01 May 2022 - 9:20 | Views - 2,723

කම්කරු දිනයට සමගාමීව විවිධ පාර්ශව විසින් සංවිධාන කර ඇති පෙළපාලි සහ රැස්වීම්වල ආරක්ෂාව, රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා පොලිසිය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.
පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට පොලිස් මූලස්ථානය විසින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බව සඳහන්.
කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් පිළිබඳව අවධානය යොමුකරමින් නියමිත රාජකාරී ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.
ඒ අනුව නුගේගොඩ, පෑලියගොඩ, බේස්ලයින් පාර, වෝඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම, නිදහස් මාවත, මාලිගාවත්ත, පංචිකාවත්ත, ටෙක්නිකල් හන්දිය, ඕල්කට් මාවත, කොම්පඤ්ඤවීථිය, හයිඩ්පාඩ්, ලේක්හවුස්, කොස්ගස්හන්දිය, කොල්ලුපිටිය, පිත්තල හන්දිය ඇතුළු මාර්ග රැසක මැයි දින පෙළපාලි ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ හේතුවෙන් දහවල් 12න් පසු කොළඹ නගරයේ මාර්ග කිහිපයක වාහන සහ යතුරුපැදි නතර කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ.
රැස්වීම් සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ වාහන නතර කිරීම සඳහා රථගාල් කිහිපයක් වෙන් කර ඇති අතර, ඒවායේ මෝටර් රථ නතර කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
Share This Article