ජනපති හා පක්ෂ එකොළහේ - සාකච්ඡාව ඇරඹෙයි
Friday, 29 April 2022 - 11:26 | Views - 305

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් ගේ හමුව වෙනුවට ආණ්ඩුවෙන් ඉවත්ව ගිය පක්ෂ 11 නායකයින් සමඟ සිදු කෙරෙන සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා.
මේ සඳහා රජයට සහාය දැක්වීමෙන් ඉවත් වූ පක්ෂ එකොලහේ නායකයින් එක් වී සිටින බව එම සාකච්ඡාවට පැමිණ සිටින හිටපු අමාත්‍යවරයෙකු සඳහන් කළා.
ජනාධිපතිවරයා පෙර යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ නායකයින් සමග සිකුරාදා දිනයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වන බවයි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා සඳහා පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය ඇතුළු බොහෝ පක්ෂවලින් සාධනීය ප්‍රතිචාර හිමි වූයේ නැහැ.
සමගි ජන බලවේගය මෙම සාකච්ඡා සඳහා එක් වීමට මේ දක්වා කැමැත්තක් පළ කරන නොමැති අතර ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මූලිකත්වය දරන සර්ව පාක්ෂික රජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පල රහිත ක්‍රියාවක් බවයි.
එවැනි සාකච්ඡාවක් සඳහා එක්වීමට සිය පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව ඔවුන් සඳහන් කර සිටියා.
මේ අතර මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක නිරතවන සමගි ජනබලවේගයේ නායකයින් එම පාගමන අතරතුර පැවැත්වෙන සෑම ජන හමුවකදී ම ප්‍රකාශ කර සිටියේ අශුද්ධ සන්ධාන සමඟ එක්වීමට සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවයි.
මේ අතර රජයට සහය දැක්වීමෙන් ඉවත් වූ ශ්‍රිලනිපය ප්රමුඛ පක්ෂ එකොළහේ නායකයින් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත අදහස් දක්වමින් දන්වා යවා තිබුණේ අග්‍රාමාත්‍යවරයා හෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී වන කිසිදු රැස්වීමකට එක්වීමට තමන් සූදානම් නොමැති බවයි.
එබැවින් පක්ෂ එකොළහේ නායකයින් සඳහා වෙනම සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා.
එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන 10:30 ට එම සාකච්ඡාව සඳහා එක්වන ලෙසයි පක්ෂ එකොළහේ නායකයින්ට දන්වා තිබුණේ.
Share This Article