දියවන්නාවට අවුරුදු 40ක් සපිරෙයි (Photos)
Friday, 29 April 2022 - 6:55 | Views - 492
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ල වෙත ස්ථාපිත කර අද දිනට (29) වසර 40ක් සපිරෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු වුණා.

මෙහිදීයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වුයේ.

ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ කෙරුණා.

එවකට ජනාධිපති ධුරයේ කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවා තිබෙනවා.

මේ අනුව ජෙෆ්රි බාවා ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පවරා තිබුණා.

මෙහිදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වසරේ අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවා.

මේ අනුව එතෙක් ගාලු මුවදොර පිහිටි මෙරට ව්‍යවස්ථාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකළ අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒම සිදු වුණා.

විශේෂයෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘතකිරීමත් සමගයි ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්වීම ද සිදු වුයේ.

නා ගස් පෙළකින් සමන්විත පිවිසුම් මාර්ගය පසුකරමින් වර්තමාන පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිය යුතුයි. මෙහිදී පාර්ලිමේන්තුව මහජනයා වෙත සමීප කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැරණි ගෘහනිර්මාණ ශිල්පක්‍රම අනුව ඉදිකර ඇති “අම්බලම” යන සංකල්පය මුල්කොටගත් ස්ථාන කිහිපයක් දැකිය හැකියි. මෙම ස්ථාන දේශපාලඥයන් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයන්හි ජනතාව එක් රැස්වී සුහදව සාකච්ඡා කිරීමේ අරමුණින් ඉදිකරන ලද බව පැවසෙන්නේ. එසේම පාර්ලිමේන්තු පිවිසුමේදී ජලය පිරි පොකුණ දැකගත හැකියි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල ආචාර්ය මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් දැකිය හැකියි. සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතිනවා. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරලවලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකියි. තවද සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරනවා. 















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top