මිල වැඩි වෙනවාද ? තීරණය අද (Video)
Tuesday, 26 April 2022 - 13:48 | Views - 1,627

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේ දී තීරණයක් ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
මේ අතර, දිවයිනට ළඟා වූ මෙටි්‍රක් ටොන් 3600ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
පසුගිය දා කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා එනම් රුපියල් 2500කින් ඉහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළත් ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව රජය පැවසුවා.
රජය ප්‍රකාශ කලේ ඒ සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.
මේ අතර, විදුලි ගාස්තු සියයට සියයකින් ඉහළ දැමීමට අනුමැතිය හිමි වී ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති, අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය ලැබී ඇති නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊට හිමි වී නොමැති බවයි.
මේ අතර, ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පිරවුම් හල් වෙත ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණෙන පාර්භෝගිකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් ප්‍රකාශ කළා.
ඖෂධ හිඟයත් සමග රජයේ රෝහල්වලින් ලබා දෙන ඖෂධ සීමා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.
එවන් පසුබිමක ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි හෘද රෝගියෙකු කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කළේ ඖෂධ ලබාදෙන ලෙස ඉල්ලමින්.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ, ඉන්දියාවේ සිට ඖෂධ රැගත් නෞකාවක් හෙට දින මෙරටට ළඟා වීමට නියමිත බවයි.
එහි ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 101ක තොගයක් අඩංගු බව ද අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේ වෙතත් මිල වැඩි කිරීමකින් තොර ව ගෑස් සැපයුම පවත්වාගෙන යෑමට නො හැකි බව යි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ.
Share This Article