මෙරටට ඇප වූ ළඟම මිතුරා - අලි සබ්‍රි IMF කඩඉම ජයගනියිද?
Friday, 22 April 2022 - 11:19 | Views - 177
ශ්‍රී ලංකාවට "හදිසි මූල්‍ය ආධාර සපයන ලෙස" ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින මොහොතකයි. මුදල් අමාත්‍ය සීතාරාමන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර වොෂින්ටනයේ පැවති සංවාදයේ අවධානය යොමු වූ ප්‍රධාන කාරණ අතරට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයද ඇතුලත් වුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල-ලෝක බැංකු (IMF-WB) වසන්ත රැස්වීම්ට සහභාගී වීමට ඉන්දීය ඇමතිවරයා ඇමරිකානු අගනුවරට පැමිණ සිටිනවා.
ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, නිර්මලා සීතාරාමන් මහත්මිය "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහය විය යුතු බවත්, කඩිනමින් මූල්‍ය ආධාර සැපයිය යුතු බවත්" පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ දිගටම ක්‍රියාකාරීව සම්බන්ධ වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, මුදල් අමාත්‍යවරියට සහතික වූ බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රැස්වීම අතරතුර, දුෂ්කර ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති උපකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාවගේ පැසසුමට ද ලක් වුණා.

පසුගිය මාස තුන තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක පමණ ආධාර ලබාදී ඇත. එයට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක් සහ ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් සඳහා ඩොලර් බිලියන 1 ක ගැනුම් හිමිකම් පහසුකම්, ඩොලර් මිලියන 400 ක් ස්වැප් පහසුකමක් සහ ආසියානු නිෂ්කාශන සංගමයේ ඩොලර් මිලියන 515 ක් ආපසු ගෙවීමට කල් ලබා දීම ඇතුළත්.

ණය වාරිකයේ කොටසක් ලෙස ඩීසල්, පෙට්‍රල් සහ සහල් මේ වන විටත් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරුන් සාකච්ඡා පැවැත්වූ දිනයේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

මේ වන විට වොෂින්ටනයට ගොස් සිටින මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග සාකච්ඡාවක නිරත වුණා.

සීතාරාමන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවට අමාත්‍ය අලි සබ්රිට සහතික වී තිබෙනවා.

විශේෂයෙන්ම විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය අලි සබ්රි අමාත්‍යවරයා වෙත පැවසූ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළා.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ට්විටර් සටහනක් මගින් අමාත්‍ය සීතාරාමන් කියා සිටියේ "සමීප මිත්‍රයෙකු සහ හොඳ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගීතාවයක් සහ සහයක් ලබා දීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකාවට සහතික වූ" බවයි.

ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරතුරදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එක්සත් ජනපදයේ සංචාරයට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමු ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ ආර්ථික ගැලපුම් වැඩසටහන සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට ඉන්දියාවට සහය විය හැකි ආකාරය පිළිබඳව මහ කොමසාරිස්වරයා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග සාකච්ඡා කර තිබෙනවා.

ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවට සිය ණය තිරසර මාවතක් කරා ගෙන යා හැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වන්නේ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ මේ අතරතුරයි.

සුවිශේෂී මූල්‍ය ආධාරයකින් හෝ පැහැරහැරීමකින් තොරව වත්මන් සහ අනාගත ගෙවීම් වගකීම් ඉටුකිරීමට රජයකට හැකි නම්, එරට රාජ්‍ය ණය තිරසර බව සලකනු ලැබේ.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බවද එම අරමුදල සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍ය අලී සබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වෙතින් හදිසි මූල්‍ය උපකාරයක් (RFI) සඳහා ඉල්ලීමක් කල අතර, හදිසි මූල්‍ය ආධාරයක් සඳහා ඉන්දියාව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමාත්‍ය අලී සබ්රි වෙත දන්වා ඇතැ යි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ණය තිරසරභාවයේ පූර්ව කොන්දේසිය හදිසි මූල්‍යකරණය සඳහා ද අදාල වන බව යි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කේන්ද්‍රගතව ඇතැයි සිය වොෂින්ටන් සංචාරය අතරතුර බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසුවා.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනකට යොමු වීමට ද බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සකාච්ඡා කළ බවද මුදල් අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී අනාවරණය කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අදාල පාර්ශ්ව සුබවාදී ප්‍රතිචාරයක් දක්වනු ඇති බව අලි සබ්‍රි මහතාගේ අපේක්ෂාවයි.
මුදල් අමාත්‍ය අලි සබ්රි මීට පෙර පවසා තිබුණේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විදේශීය මුලාශ්‍රයන් වෙතින් ඩොලර් බිලියන 4ක් අපේක්ෂා කරන බව යි.

2021 වසරේ සිව්වන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ මුලු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,589.37ක් වනවා. ඉන් විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,492.15(ඇමෙරිකානු ඩොලර් බිලියන 51)ක්. 2021 දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවී තිබෙනවා.
මේ වසරේ ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අප්‍රේල් 12 වනදා නිවේදනය කළා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා සිටියේ මේ අවස්ථාවේදී විදේශ ණය ආපසු ගෙවීමට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ අනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවයි.

පසුගිය මාර්තු මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කරන ලද IV වගන්තියට අදාල වාර්තාව මඟින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කළ යුතු බවට අදාල වාර්තාව නිර්දේශ කළා.

පවතින උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු බව ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට වසර දෙකකට පමණ පෙර සිට පෙන්වා දුන්නද ආණ්ඩුව ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවට චෝදනා එල්ල වනවා.

එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ආර්ථිකය ගොඩගැනීමට මාර්ග සැලැස්මක් ඉදිරිපත් කරමින් දිගින් දිගටම පවසා සිටියේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top