ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.
අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, බෙලිඅත්ත, හාලිඇල, මාතර, මහියංගනය, මොණරාගල, නොච්චියාගම සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස විරෝධතා පැවති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ගයේ වතුගෙදර ප්‍රදේශයේදී ටිපර් රථ රියදුරන් ඉන්ධන මිල ඉහල යාමට විරෝධය පළ කරමින් ටයර් පුළුස්සා විරෝධතාවයේ නිරත වුණා.
බදුල්ල - පස්සර තුනේ කණුව ප්‍රදේශයේ ජනතාව ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව විරෝධතාවයේ නිරත වුණා.
ගාලුමුවදොර ජනාධිපති කාර්යාලයට ඉදිරිපිට මහජන විරෝධතාව අද 13 වන දිනටත් පැවැත්වෙනවා.
මේ අතර, මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මුහුණදීමට සිදුව තිබෙන ගැටලු විසදා ගැනීමට අවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ රට වැසියන් කුසගින්නෙන් තොරව සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීමක් බවයි.
ගෑස් ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩවලට සාධාරණ මිලක් නියම කිරීම සහ හිඟයකින් තොරව එම භාණ්ඩ ජනතාවට ලබාදීම තුලින් උද්ඝෝෂණ පැතිර යාම වළක්වා ගත හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දෙන්නේ.