රෝස මල් පිදූ අරගලයේ අවසානය ?නිරායුධ සිවිල් වැසියන්ට පහරදීම ජාත්‍යන්තරයේ අවධානයට (Photos & Videos))
Wednesday, 20 April 2022 - 17:44 | Views - 457
රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) දින සිදු වූ කලහකාරී සිද්ධිය සමග මේ වනවිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ව ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇති බව දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ජාත්‍යන්තරයේ විවිධ සුප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා විසින් ද වාර්තා කරන්නේ එවන් පසුබිමක් යටතේයි.

ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී, විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලීසිය විසින් අවම බලය භාවිත කරමින්, කඳුලු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ.

නමුත්, නිරායුධ වූ සිවිල් වැසියන්ට අමානුෂික අයුරින් අවම බලය භාවිත කරන්නේ යැයි පවසා වෙඩි ප්‍රහාර එල්ල කර, ඝාතනය කිරීම කෙසේ නම්, සාධාරණීකරණය කරන්නේ ද?

මෙම සිද්ධිය පිළිබඳ අමරිකානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනිය ද සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

ඒ ඊයේ දින රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය බිහිසුණු වන අතර, ඒ පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ජූලි චන්ග් (Julie Chung) ප්‍රකාශ කරනවා.

ඇය පෙන්වා දෙන්නේ, විරෝධතාකරුවන්ට සහ පොලීසියට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින අතර, සියලුම දෙනා සංයමයෙන් කටයුතු කිරීමට ක්‍රියා කරන්නේ නම් වඩාත් යහපත් බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් විසින් ද ඊයේ රඹුක්කන සිදු වූ සිදුවීම පිළිබඳ දැඩි කනගාටුව පළ කර තිබෙනවා.

නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ, එක් අයෙකුට ජීවිතය අහිමි වූ වෙඩි ප්‍රහාරය ගැන අසා තමන් බලවත් කම්පනයට පත් වූ අතර, එම සිදුවීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, සාමකාමීව විරෝධතා කිරීමට වගබලා ගන්නා ලෙසත් ඇය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

තවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් ද රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඇය ප්‍රකාශ කළේ, පුරවැසි බලය ආරක්ෂා කරමින්, ගත හැකි අවම ප්‍රමාණයේ බලය භාවිත කිරීමට වගබලාගත යුතු බවයි.

ජාත්‍යන්තර සුප්‍රසිද්ධ මාධ්‍ය වන බී.බී.සී, අල්ජසීරා.ස්කයි, රොයිටර් වැනි පුවත් මාධ්‍ය විසින් රඹුක්කන සිදුවීම සිය ප්‍රධාන ප්‍රවෘත්ති ලැයිස්තුවට ගෙන තිබෙන අයුරු දක්නට ලැබුණා.

ඒ අනුව බී.බී.සී නාලිකාව විසින් ආසියාතික ප්‍රධාන ප්‍රවෘත්ති ලැයිස්තුවට ඉහළින් ම සටහන් කර තිබුණේ, ''one killed after police Fire at protest in Rambukkana'' යනුවෙන්.

රට පත් ව ඇති දැඩි ආර්ථික, දේශපාලනික අර්බුදයන්ට කඩිනම් විසඳුම් ඉල්ලා සහ පාර්ලිමේන්තුවේ සිටින සියලුම මහජන නියෝජිතයින් එපා යැයි කියමින් විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ වුණා.

ගාලුමුවදොර 12 වැනි දිනටත් (20) අද පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය මෙරට තුළ සහ ජාත්‍යන්තරයේ ද වැඩි කතාබහකට පත් වුණා.

ඇතැම් අවස්ථාවලදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් මෙන්ම, සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අරගල බිමට අවතීර්ණ වූයේ, රට පත්ව ඇති ඛේදනීය ඉරණම තවදුරටත් අවධාරණය කරමින්.

එහිදී ඇතැම් විට විරෝධතා ආරම්භ වීමට පෙර රාජ්‍ය ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් ක්‍රියා කරන පොලීසිය සියලුම ආරක්ෂක අංශ විසින් ඉහළ බලධාරින්ගේ නියෝග මත මග හරස් කරද්දී, ඇතැම් විරෝධතාකරුවන් ඔවුන් අභියසට ගොස් රෝස මල් පුදා ඉල්ලා සිටියේ, අවි බිම තබා රට බේරා ගැනීමට ඔබත් එක්විය යුතු බවට ස්නේහයෙන් යුතුව සිහිපත් කරමින්.

''GOHOMEGOTA'' යනුවෙන් සටන් පාඨ පෙරදැරි කරගනිමින්, විරෝධතාකරුවන් ජාත්‍යන්තරයට මෙන්ම මෙරට පාලකයින්ට ඉගැන්වූයේ සාමකාමීව අරගල කරන අයුරුයි.

රෝස මල් තිළිණ කොට, නිර්මාණශීලීව තම අර්බුදයන් සහ වේදනාව ලෝකයාට ප්‍රකාශ කරමින්, සන්සුන්ව අරගල ක්‍රියාත්මක වූ මොහොතකයි, රඹුක්කන සිදුවීම වෙඩි ප්‍රහාර එල්ල කර, මනුෂ්‍ය ඝාතනයක් සිදු කරමින් අවසන් වන්නේ.

ජනාධිපතිවරයාගේ නිවස පළමු වරට අරගලකරුවන් විසින් වැටලූ අවස්ථාවේ දී ද පොලීසිය විසින් සහ කැරලි මර්දන ඒකකය විසින් ක්‍රියා කළ ආකාරය දැඩි පිළිකුළෙන් යුතුව ජාත්‍යන්තරය මෙන්ම මානව හිමිකම් ආයතන ද හෙළා දැක්කා.

මේ හේතුවෙන් මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ අද (20) පෙරවරුවේ හිරු ''පත්තරේ විස්තරේ'' සජීවී වැඩසටහනට එක්ව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළේ, ඊයේ නිරායුධ සිවිල් වැසියන්ට පොලිස් අවම බලය යැයි ප්‍රකාශ කොට, වෙඩි තැබීම් ආදිය සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

මෙවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තරයේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ගැන දැඩි අවධානයෙන් පසුවන අතර, ඊයේ දින වෙඩි තැබීමට උපදෙස් දුන් ඉහළ පෙළේ නිලධාරින්ට එරෙහිව විනය පරීක්ෂණ සිදු කළ යුතු බව ද ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආචාර්ය මහානාමහේවාගෙන් සිදු කළ අදහස් විමසීමේ දී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, නිරායුධ සිවිල් වැසියන් මර්දනයට පළමු වෙඩි මුරය එල්ල කිරීමට අණ දුන්නේ කවුදැයි සොයා බැලීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවයි.

මේ අතර, අද දින දිවයින පුරා හර්තාල් ව්‍යාපාර ක්‍රියාත්මක කරන අතර, සිවිල් බලය උපයෝගී කරගනිමින්, අද දින ජාතික විරෝධතා දිනය ලෙස ද නම්කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම වැඩ්බිම් වර්ජනය කර, අද උදෑසන සිට අරගල බිමට පැමිණීමට කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම ඊයේ දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට නිර්පාක්ෂික අරගල බිමට පා ගමනින් යුතුව පැමිණියා.

ඒ අරගලයට සහාය දක්වමින්.

මීට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආචාර්යවරුන් ද එක් ව සිටියා.

දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳින මහජන දුක නිවෙන්නේ කවදාද? මර්දනය පාලනයට යැයි අයුතු ලෙස නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබනවා වෙනුවට ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය ඇති වන්නේ කවදාද ? බිඳුණු තරුණ හීන සඵල වන්නේ කවදාද? මේ පිළිබඳ සියලු ශ්‍රී ලාංකිකයින්ට ඇත්තේ අපමණ බියක් සහ වේදනාවක් බව මෙම අරගල තුළින් විද්‍යමාන නොවන්නේ ද?

තවදුරටත් පාලක බලය උපරිමයට ගනිමින්,පීඩිත සිවිල් වැසියා මර්දනය කිරීමට බලධාරින් ඉදිරියටත් කටයුතු කරන්නේ ද ? සැවොම මේ පිළිබඳ ව අවධානයෙන්.. ! 



















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top