හිටපු මහ බැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි
Monday, 18 April 2022 - 13:11 | Views - 406

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගමන් තහනම මැයි මස 02 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විනිසුරුවරයා අද (18) නියෝග කළා.
ඒ හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
මෙම නඩු කටයුත්තට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ ජීවන්ත ජයතිලක අධිකරණය හමුවේ කියා සිටියේය හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි.
පළමුවරට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී සිදුකළ බවට පැවසෙන විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් හිටපු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
මෙය පළමු වරට විභාගයට ගත් අවස්ථාවේදී කොලඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා හිටපු මහබැංකු අධිපති අධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් පනවා ඔහුගේ ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙස නියෝග කළා.
Share This Article