තම ඉල්ලා අස්වීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත භාරදුන් බව භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල පවසනවා.
මේ අතර, ඊයේ (05) මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් අලි සබ්රි, අද එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.
සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් අලි සබ්රි හිටපු අමාත්‍යවරයා පවසන්නේ, පවතින අර්බුදකාරී තත්ත්වය මත පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් තාවකාලික පදනමෙන් මුදල් අමාත්‍ය ධුරය භාරගත් බව යි.
ඒ සඳහා තමන්ගේ හිතවතුන් සහ පාර්ලිමේන්තුවේ සඟයන් කළ ඉල්ලීම් ද හේතු වූ බව ඔහු සිය ඉල්ලා අස් වීමේ ලිපියේ සඳහන් කරනවා.
කෙසේ වෙතත් පවතින වාතාවරණය මත මුදල් අමාත්‍ය ධුරය පලපුරුදු සුදුසුකම් සහිත පුද්ගලයකු හට භාර දී රටේ ආර්ථිකයේ තිරසාර බවක් ඇති කිරීම මේ අවස්ථාවේ රජයේ ප්රමුඛ ඉලක්කය බවට පත් විය යුතු බව යි ඔහු අවධාරණය කරන්නේ.
මෙම භාරදූර තනතුර සඳහා පාර්ලිමේන්තුව තුළ සුදුසුකම් ලත් කෙනෙකු නො මැති නම්, ඒ සඳහා ජාතික ලැයිස්තුව හරහා නව නියෝජිතයෙක් පාර්ලිමේන්තුව තුළට ගෙන ආ යුතු බවටත් ඔහු යෝජනා කරනවා.
අවශ්‍ය නම් එවැනි අවස්ථාවක දී තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී එවැනි කෙනෙකුට ඉඩ සලසා දීමට තමන් සූදනම් බවත් හිටපු අමාත්‍යවරයා සිය ඉල්ලා අස් වීමේ ලිපියේ දක්වා තිබෙනවා.
නව මුදල් අමාත්‍ය ලෙස බන්දුල ගුණවර්ධන පත් කරනු ඇති බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.