මිරිහානේ විරෝධතාවට 45 ක් අත්අඩංගුවට (Video)
Friday, 01 April 2022 - 8:50 | Views - 1,493

මිරිහාන විරෝධතාවයේ දී කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් ඇතුලු පුද්ගලයන් 54 දෙනෙකු බස්නාහිර පළාත් අපරාධ දිසාව මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලටත්, කළුබෝවිල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
කළහකාරී පිරිස පොලිස් බස් රථයක්, ජීප් රථයක්, යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් මෙන්ම, යුද හමුදා බස් රථයක් ගිනි තබා විනාශයට පත් කර ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
කළහකාරී තත්වයේදී තවත් පෞද්ගලික වාහන කිහිපයකටද අලාභහානි සිදුව තිබෙනවා.
ජීවන වියදම ඇතුලු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ පස්වරුවේ මිරිහාන - ජුබිලි කණුව මංසන්ධියේදී ජනතාව විරෝධතාවක නිරත වුණා.
පසුව එම පිරිස පා ගමනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස පිහිටි මිරිහාන - පැඟිරිවත්ත මාර්ගය අසළට පැමිණ විරෝධය පළ කළා.
මෙහිදී දැඩි රථවාහන තදබදයක්ද ඇතිවූ අතර, පසුව උණුසුම් තත්වයක්ද හටගත්තා.
තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ කැරළි මර්දන ඒකකය කැඳවා තිබූ අතර, ඔවුන් පිරිස විසුරුවා හැරියේ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.
මෙම සිද්ධියෙන් අනතුරුව කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමටද කටයුතු කෙරුණා.
පසුව එම පොලිස් ඇඳිරි නීතිය අද අලුයම පහට ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.
මේ අතර මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් අද පෙරවරුවේ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වෙත පැමිණ තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
Share This Article