ඇමති බන්දුල අතීතය මතකයට නගයි - සතොස රැකගන්නත් ඉල්ලයි
Tuesday, 22 March 2022 - 10:50 | Views - 475

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අවම මිලට සපයන්නට රාජ්‍ය යාන්ත්‍රණය සෑම විට ම කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22) දෙහිවල කවුඩාන ලංකා සතොස නව අලෙවි ශාඛාව විවෘත කරමින්.
මෙහි දී වර්තමාන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා, මෙසේ ප්‍රකාශ කළා.
"ලෝකය පුරාම විශාල වශයෙන් ජනතාව අපහසු කාල වකවානුවක් ගත කරද්දී අපේ රටේ ජනතාව වෙනුවෙන් රජයේ අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කරමින් 446 වැනි ශාඛාව විවෘත කිරීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටට පත් වනවා. ලෝකය පුරා ඉතාම බලවත් රටවල් ගැන සලකා බැලුවොත් කොවිඩ් සමඟ ඔවුන්ගේ ආර්ථිකය බලා සිටිද්දී කඩා වැටුණා. සැපයුම් ජාලය නතර වුණා. තවමත් විවෘත නොවුණ කර්මාන්තශාලා දහස් ගණනක් ලෝකය පුරාම තිබෙනවා. අපේ රට ඉතා කුඩා ආර්ථිකයක් තිබෙන රටක්. පසුගිය කාලය පුරාම රට වසා තිබුණ බව අපි හැමෝම දන්නවා. රට වහනවා කියන්නෙ ඔබ ගෙදර නවතින්න, වැඩ කිරීම නවතන්න, නිෂ්පාදනය බෙදාහැරීම සැපයුම් සියල්ල නවතන්න කියන ක්‍රියාවලීන් වලට තනි නමක්. අපේ කුඩා ආර්ථිකයට මෙය දැරිය නොහැකි තත්වයක් වුවත් සෑම විටකදීම අපි රජයේ යාන්ත්‍රණය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කළා. වෙළෙඳපොලේ සහල්, සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල හිතු හිතු ලෙස ඉහළ දමන්නට වෙළෙඳ පාර්ශ්වයන් කටයුතු කරද්දි ඒ සියළුම දෙනා සමඟ සාකච්ඡා කර අපි ඒ ක්‍රියාමාර්ග නවතන්නට උත්සාහ ගත්තා. ඔවුන් එයින් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ ගත් නිසාම අපි රජයක් වශයෙන් ඉතාම අපහසුවෙන් වුවත් විවිධ හිතකර ක්‍රියාමාර්ග ඔස්සේ ඔබ වෙනුවෙන් අඩු මිලට ගුණාත්මක භාණ්ඩ ලබා දෙන්න කටයුතු කළා. කවුරු කෙසේ කිව්වත් අද තවමත් ඔබ වෙනුවෙන් අවශ්‍ය දේ දේශීය වශයෙන් ද නිෂ්පාදනය කරමින් ලබා දෙන්නට ගත් උත්සාහයන් සාධනීය වශයෙන් ප්‍රතිඵල ලබා දී තිබෙනවා. වසා දමන්නට නියමිතව තිබුණ සීනි කම්හල විවෘත කරමින් ආනයනිත සීනි වලට වඩා අඩු මිලට දේශීය රතු සීනි ලබා දෙන්න අපි ජානක වක්කුඹුර ඇමතිතුමා එක්ක එකතු වෙලා කටයුතු කරලා තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදීත් කුමන බාධක ආවත් ඔබ වෙනුවෙන් කෙසේ හෝ අඩුම මිලකට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩලබා දීමට කටයුතු කරනවා."
වර්ෂ 1930න් පසුව ලෝකයේ ඇති වී ඇති විශාලතම ආර්ථික කඩා වැටීම සියළු රටවලට බලපෑම් ඇති කර ඇති ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ හේතුවෙන් කිසිදු රාජ්‍ය නායකයෙකුට ඉවත් වන්නට යැයි කීමට කිසිවෙකු කටයුතු කර නොමැති බව පෙන්වා දුන්නා.
මීට වසර 33කට පෙර පාසල් වසා දමා, ප්‍රවාහනය නවතා දමා, උසස් අධ්‍යාපනය කඩාකප්පල් කර, මෙවැනි කටයුතුවලට අනුගත නොවූ ජනතාව මරා දමන තත්වයට මෙරට පත් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය පවා ක්‍රියාත්මක වූ කාලසීමාවක් පසු කළ බවත් ඉන් පසුව වසර 30කට පෙර මෙරට දෙකඩ කිරීමට අහිංසක ජනතාව බිල්ලට ගත් කාලසීමාවක් පවා ශ්‍රී ලංකාව තනිව මුහුණ දුන් නමුත් ලෝකයේම ඇති වූ ආර්ථික කඩා වැටීමට තනිව මුහුණ දීමට කිසිදු රටකට නොහැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කර තිබෙනවා.
සම්බා කිලෝවක් රු.130/=ක්, නාඩු කිලෝවක් රු.110/=ක්, පොල් ගෙඩියක් රු.75/=ක් වශයෙන් සාමාන්‍ය වෙළෙඳපොලට වඩා සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු මිලකට පාරිභෝගිකයාට ලබා දීමට ලංකා සතොස හරහා කටයුතු සලසා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම ආදේශක සපයමින් පොල් නොමැති අවස්ථාවලදී පොල් ගෙඩි 2ක කිරි පැකට්ටුවක් රු.150/=ක වැනි මිලකට අලෙවි කරනු ලබන බවත් පානීය ජල බෝතල් භාවිතයෙන් පසු පරිසරයට මුදා හැරීමෙන් තොරව නැවත භාර දීම තුළින් පාරිභෝගිකයාට රු.10/=ක වාසියක් ලබා දීමට කටයුතු කළ හැකි ආකාරය ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඒ අනුව, ජනතාව සතු ලංකා සතොස රැකගැනීමට කටයුතු කරන මෙන් අමාත්‍යවරයා මෙහි දී අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.
Share This Article