සිමෙන්ති සහ කිරිපිටි මිලත් ඉහළට
Sunday, 13 March 2022 - 7:43 | Views - 3,380

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හමුවේ මේ වනවිට විදේශ රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කර සිය නිෂ්පාදන සිදුකරන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා.
ඒ අනුව, නිෂ්පාදන සිදුකිරීමේදී දැරිය යුතු පිරිවැය ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වනවිට වෙළඳපොලේ ඇතැම් සිමෙන්ති සමාගම් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා
ඒ අනුව, රුපියල් 1500 ක පමණ අගයක පැවති සිමෙන්ති කොට්ටයක මිල එම සමාගම් මගින් වෙළඳපොලට නිකුත් කර ඇත්තේ රුපියල් 1850 ත්, 1900 ත් අතර මිලකටයි.
ශ්‍රී ලංකාවේ සියයට සියයක් දේශීයව සිමෙන්ති නිෂ්පාදනය කරන එක් ආයතනයක් පමණක් පුත්තලමේ ක්‍රියාත්මක වන අතර, අනෙකුත් ආයතන අමුද්‍රව්‍ය ආනයනය කර මෙරටදී සිමෙන්ති නිෂ්පාදනය කරනු ලබනවා.
එලෙස අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඒ සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන්, අමුද්‍රව්‍ය ආනයනය කර මෙරටදී සිමෙන්ති නිෂ්පාදනය කරන සමාගම් බහුතරයක් මේ වනවිට සිමෙන්ති මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එළැඹෙන සඳුඳා මෙරට ප්‍රධාන පෙලේ කිරිපිටි නිෂ්පාදන සමාගමක් සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
වෙළඳපොල තත්ත්වයන් පිළිබඳව එහිදී සාකච්ඡාවට ගැනෙන අතර, ජනතාවට දැරිය හැකි මිලකට කිරිපිටි සඳහා මිලක් නියම කිරීමට කටයුතු කරන බවයි එම සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත්, එලෙස කිරිපිටි මිල ඉහළ නැංවුවහොත් එම තීරණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.
රුපියල පා කිරීමේ තීරණය මෙරට කර්මාන්තකරුවන්ට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටිගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ අපනයනකරුවන්ට මේ හරහා ලැබෙන වාසිය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් අහිමිව යන බවයි.
Share This Article