රන් ආභරණ කොල්ලකෑමේ ජාවාරම්වල නිරත වූ කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
රාගම - පේරලන්ද ප්රදේශයේදී පොලීසිය විසින් ඊයේ සිදුකරන ලද වැටලීමකදී සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වූයේ මොවුන් දෙදෙනා කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කෑමේ ජාවාරමක නිරත වී ඇති බවයි.
එමෙන්ම, ගල්කිස්ස ප්රදේශයේ දී ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ද රන් මාල කොල්ලකෑමේ ජාවාරම්වල නිරත වී ඇති බවටයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
මේ අතර, ගම්පහ පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව ත්රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන්වලට අදාළව දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (07) දිනයේදියි.
ඔවුන් විසින් සොරා ගන්නා ලද ත්රිරෝද රථ 9ක් සහ යතුරුපැදි දෙකක් පොලීසිය සොයාගෙන තිබෙනවා.