හවුල්කාර පක්ෂ එකොළහේ ස්ථාවරය ගැන - තීරණය අද
Friday, 04 March 2022 - 8:49 | Views - 767

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් නෙරපීමෙන් අනතුරුව සිය පක්ෂවල ස්ථාවරය අද දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසනවා.
ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11ක් විසින් පෙරේ දා කොළඹ දී “මුළු රටම - හරි මඟට” මැයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළ අතර, එහිදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනයට ලක් කළා.
ඉන් අනතුරුව යි මෙලෙස ජනාධිපතිවරයා විසින් ඔවුන්ව අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවේ.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, අද උදෑසන ඔවුන්ගේ ස්ථාවරය දැනුම්දීමට නියමිතයි.
අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිත අතර, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරගේ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන්ද එහි දී තීරණයක් ගනු ඇති.
අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යොමු කළ ලිපිය සිය නිල ෆේස්බුක් ගිණුමට එක් කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ “ස්තූතියි” යනුවෙන් සටහනක් එක් කර තිබුණා.
අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යංශයෙන් සිය බඩු බාහිරාදිය ඊයේ රාත්‍රියේදි ම ඉවත් කර ගනු ලැබුවා.
මේ අතර, ප්‍රජතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, තම පක්ෂයේ ද විධායක සභාව අද රැස්වීමට නියමිතව ඇති බවයි.
එම විධායක සභාවේ දී ගනු ලබන තීරණ අනුව අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් වන ස්ථාවරය ද අද ප්‍රකාශයට පත්කරන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Share This Article