වැටුප් නොගෙවූ බවට - අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් චෝදනා
Thursday, 03 March 2022 - 8:48 | Views - 526

සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබාදී ඇති ඇතැම් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පසුගිය ජනවාරි මසට අදාළ වැටුප් සහ දීමනා මෙතෙක් ගෙවා නොමැති බවට උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි කියා සිටියේ, එම උපාධිධාරීන්ගේ සේවා ස්ථීර කළ බවට වන පත්වීම් ලිපි ලබා දීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
සංවර්ධන නිලධාරී සේවයේ රැකියා ලබාදුන් උපාධිධාරීන් රැසකගේ සේවා පසුගිය ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර කෙරුණා.
ඒ අනුව පුහුණු කාලය තුළ ඔවුන්ට ලබා දුන් රුපියල් 20,000ක මාසික දීමනාව වෙනුවට රුපියල් 32,900ක මූලික වැටුපක් සහ සෙසු දීමනා සමග රුපියල් 42,000ක සමස්ත වැටුපක් හිමිවනවා.
කෙසේ වෙතත්, පත්වීම් ලිපි ප්‍රමාදය සමග අදාළ උපාධීධාරීන් සංවර්ධන නිලධාරීන්ට පත්වීම් ලබා දෙන තෙක් රුපියල් 20,000 මාසික දීමනාව ලබා දෙන ලෙසට චක්‍රලේකයක් පවා නිකුත් කර තිබුණ ද ඔවුන්ට ජනවාරි මාසයේ කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා දී නො මැති බවට යි උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි චෝදනා කරන්නේ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරිගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ, ලබන අප්‍රේල් මස ස්ථීර කිරීමට නියමිත අභ්‍යාස උපාධිධාරීන් සඳහා මෙතෙක් පත්වීම් ලිපි නිකුත් කර නො මැති බවයි.
එමෙන්ම, ඇතැම් උපාධිධාරීන් ස්ථීර කිරීමෙන් පසු ඔවුන් ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් හෝ වෙනත් හේතු මත අදාළ රාජකාරී වෙත වාර්තා කර නො මැති බව ලේකම්වරයා සඳහන් කළා.
එවැනි පිරිස්වලට නීත්‍යානුකූලව වැටුප් සහ දීමනා නො ලැබෙන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් ජනවාරි පළමුවනදා සිට ස්ථීර පත්වීම් ලබා දී ඇති, ගැටලුවලින් තොරව නියමිත පරිදි රාජකාරී වෙත වාර්තා කරන සියලු උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට අදාල වැටුප් සහ දීමනා ගෙවීමට කටයුතු කර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article