කිව් උමං දුම්රිය ස්ථානයේ දී දරු ප්‍රසූතියක්
Saturday, 26 February 2022 - 8:59 | Views - 843

රුසියානු හමුදා ඉදිරි පැය කිහිපය තුළ කියෆ් අගනුවර මධ්‍යයට කඩාවදිනු ඇතැයි යුක්රේන ජනාධිපති වොල්ඩොමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.
යුක්රේන අගනුවර වටලා සිටින රුසියානු හමුදා ඉදිරි පැය කිහිපය තුළ නගර මධ්‍යයට කඩාවදිනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ වීඩියෝ පටයක් නිකුත් කරමින්.
රැය කොතෙක් දුෂ්කර වුවත්, ඉර උදාව නියත බවයි ඔහු සඳහන් කළේ.
එහි දී සතුරා විසින් යුක්රේන ප්‍රතිරෝධය මැඩලීමට උත්සාහ දරනු ඇති බව පැවසූ ජනාධිපති සෙලෙන්ස්කි, යුක්රේනය ලබාගත් නිදහස රැකගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදුන්නා.
සාම සාකච්ඡා සඳහා යුක්රේනය දොරටු වසා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ, ලේ වැගිරීමක් වැළැක්වීම තම ඉලක්කය බවයි.
කෙසේ නමුත් යුක්රේන පාලකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ නාසිවාදීන් ලෙස හැඳින්වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ගේ පාලනය පෙරළා දමන ලෙස යුක්රේන හමුදාවෙන් ඉල්ලා සිටියා.
එහෙත් රුසියානු නායකයාගේ ප්‍රලාප ලෝකය විශ්වාස නො කරන බවයි ජනාධිපති යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ.
මේ අතර කියෆ් අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුර රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර, එහි සිට අගනගරයට කඩාවැදීම දුෂ්කර නො වන බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
කියෆ් නගරාධිපති හිටපු හෙවිවේට් බොක්සිං ශූර විටාලි ක්ලිට්ස්ච්කෝ කියා සිටියේ, දුෂ්කර සමයක් ඉදිරියේ එළඹෙනු ඇති බවයි.
මේ අතර රුසියාවට අයත් විශාල ගුවන් යානයක් තමන් බිම හෙලූ බව යුක්රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා සඳහන් කළා.
කෙසේ නමුත් ඉලියුෂින් හැත්තෑ හය වර්ගයේ මෙම ගුවන් යානය බිම හෙලීමේ පුවත මෙතෙක් සනාථ වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර, රුසියානු ප්‍රහාර මධ්‍යයේ කියෆ් උමං දුම්රිය ස්ථානයේ රැකවරණ ලබමින් සිටින ගර්භනී මවක් ඊයේ එහි දරු ප්‍රසූතියක් සිදු කර ඇති බව ද වාර්තා වනවා.
උමං දුම්රිය ස්ථානයේ නවතා ඇති දුම්රිය, ජනතාවට රැකවරණ ලැබීම සඳහා විවෘතව පවතින බව සඳහන්.
එහි යුක්රේන කාන්තාවක් දරුවෙකු බිහිකිරිමේ පුවත ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා.
Share This Article