ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි
Thursday, 24 February 2022 - 11:05 | Views - 3,437

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහුගේ දේහය මේවන විට තලංගම රෝහලේයි තැන්පත් කර ඇත්තේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 77ක්.
සුනිල් මාධව ප්‍රේමතිලකයන් ප්‍රවීණ ගත් කතුවර ලේඛක මීමන ප්‍රේමතිලකයන්ගේ දෙටු පුත්‍රයා යි.
පුවත්පත් කලාවේදියෙක් මෙන්ම කතෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක ග්රන්ථ රැසක් රචනා කර ඇති අතර පරිවර්තන කෘති කිහිපයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙරට මාධ්‍ය කලාවේ කැපී පෙනෙන නැම්මක් ඇති කළ ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් කලක් රෝගාතුරව පසු වුණා.
වමේ ධාරාවේ රැඩිකල් මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලාංකේය සලකුණ ලෙස සැලකෙන සුනිල් මාධවයන් විසින් රචනා කළ සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දශකයේ මෙරට පුවත්පත් මාධ්‍ය කලාවේ තීරු ලිපි රචනාවේ නව මානයක් ඇති කළ ලියමනක්.
ප්‍රධාන ධාරාවේ පුවත්පත් ගණනාවක සේවය කළ අතිශය විප්ලවවාදී අදහස්වලින් සුපෝෂිත මෙම මානව හිතවාදී ලේඛකයා ගේ පෑන් තුඩින් පරිවර්තනය කෙරුණු ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ගණයේ කෘතීන් ගණනාවක් මෙරට පාඨකයින් වැළඳ ගත්තේ මහත් අභිරුචියකින්.
ඔහුගේ පරිවර්තන අතර ඉදිරියෙන්ම ඇති පරිවර්තනයක් වන්නේ Cry Freedam හෙවත් හඬනු මැන නිදහස නමින් පරිවර්තනය වූ කෘතියයි.
ඒ හැරුණු විට සත්‍යවාදියෙකුගේ දිනපොත, අන්ධකාරයේ දරුවා, ශ්‍රේෂ්ඨයා මොහොමඩ් අලිගේ කතාව, ආදි කෘතීන් මෙරට පාඨකයින් ආදරයෙන් වැළඳ ගත් ඒවායි.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
Share This Article