උඩු දුවන - විදුලි අර්බුදය (Video)
Monday, 21 February 2022 - 14:07 | Views - 974

ඉන්ධන මිල දී ගැනීම සඳහා විදේශ රටකින් හෝ ආයතනයකින් සෘජුව මූල්‍ය පහසුකමක් ලබා ගැනීම කෙරෙහි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා.ඒ, තෙල් සංස්ථාවට ණය ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නියෝගය හේතුවෙන්.උග්‍ර ඩොලර් අර්බුදයත් සමඟ මාස කිහිපයක සිට තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය පිළිබඳ ගැටළුකාරි තත්ත්වයකට මුහුණ පා සිටිනවා.ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ අන්තර්ජාතික ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් තෙල් ආනයනය කළද ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් මෙලෙස අවස්ථා ගණනාවකදීම ගැටළු මතු වුණා.කෙසේ වෙතත් එවැනි අවස්ථාවල තෙල් සංස්ථාව එම ගැටළු මඟ හරවා ගනු ලැබුවේ රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් ණය පහසුකම් උපයෝගි කර ගනිමින්.කෙසේ වෙතත් මහ බැංකු නියෝගයත් සමඟ එම උපාය මාර්ගය තවදුරටත් වලංගු නොවන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ මූල්‍ය ස්ථාවරය රැක ගැනීම සඳහා මෙලෙස සීමාව ඉක්මවා තෙල් සංස්ථාවට ණය ලබා නොදෙන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබාදුන් බවයි.පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද එම ස්ථාවරය අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.පවතින තත්වය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිල ඉහල නැංවීමේ ස්ථාවරය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන් යටතේ තවදුරටත් ඉන්ධන අලෙවිය සිදු කිරීමට නොහැකි වීම සහ බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම ඊට හේතුවයි.එමෙන්ම මිල සූත්‍රයක් කඩිනමින් ගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.මේ අතර දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින අතර, ඇතැම් ඉන්ධන හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙනවා.තාප බලාගාරවලින් විදුලි නිෂ්පාදනය කිරීමද මේ වනවිට බරපතළ ගැටළුවක් බවට පත්ව තිබෙනවා.මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවලපිටිය වෙස්ට්කෝස්ට්, සපුගස්කන්ද බලාගාර ද්විත්වය මෙන්ම කැළණිතිස්ස බලාගාරය මේ වනවිටත් පවතින්නේ අක්‍රීයවයි.ඉංජිනේරුවන් පවසන්නේ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයද නැප්තා අවසන් වීමෙන් අද රාත්‍රී 7යි 30 වනවිට නවතා දැමීමට සිදුවන බවයි.කෙසේ වෙතත් කැළණිතිස්ස සුජිස්ට් බලාගාරයට ලබාදෙන ඉන්ධන මෙට්්රක් ටොන් 1000 හැර අක්‍රීය වූ සෙසු බලාගාරවලට ඉන්ධන ලබාදිම සම්බන්ධයෙන් මෙතෙක් තෙල් සංස්ථාව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.මෙවැනි පසුබිමක අද දිනයේ අපේක්ෂිත මෙගාවොට් 2700කට ආසන්න දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.ඒ අනුව විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවක් සිදු කිරීමට උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමට අවසර හිමි වුණා.අද උදෑසන 8යි 30ට ආරම්භ වූ විදුලි කප්පාදුව පස්වරු 5යි 30 දක්වා කාලසීමාව තුල දිවයින කලාප 9කට වෙන් කර පැයක් බැගින් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.එමෙන්ම දකුණු පලාතට අද දිනයේ පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.එම දැන්වීම පහතින්
Share This Article