චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශ 32ක්
Tuesday, 15 February 2022 - 11:12 | Views - 897

හිරු ටී.වි. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ 32ක් සටහන් කරගෙන තිබෙනවා.
එහිදී පිළියන්දල පොලීසිය විසින් ප්‍රකාශ 25ක් සටහන් කරගෙන ඇති අතර, කැස්බෑව පොලීසිය ද ප්‍රකාශ 7ක් සටහන් කරගෙන ඇති බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරීන් සඳහන් කළේ.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස අවට පිරිස ඇතුළු විවිධ පුද්ගලයන්ගෙන් එලෙස ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය, ඊයේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර දුරකතන සන්නිවේදන කුළුණු සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු වාර්තා ලබා ගැනීමේ නියෝගයක් ද ලබාගෙන තිබුණා.
ඒ අනුව අද දිනයේදීත් ඊට අදාළ විමර්ශන සිදු කෙරෙන අතර විශේෂයෙන් සී.සී.ටී.වී කැමරාවල සටහන් වූ දර්ශන පරීක්ෂා කිරීම සිදු කෙරෙනු ඇති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන පවත්වනවා.
හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල - ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඊයේ අලුයම යි.
ඔවුන් එහි දී ආරක්ෂක කුටියේ රාජකාරියේ නිරත ව සිටි මුරකරුගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කර, නිවාස සංකීර්ණයට ඇතුළු වී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාර එල්ල කර තිබූ අතර, එමඟින් නිවසේ ජනෙල්වලට ද හානි සිදු ව තිබුණා.
නාඳුනන කණ්ඩායම නිවාස සංකීර්ණයට පැමිණෙන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී දර්ශන ද මේ වන විට නිකුත් වී තිබෙනවා.
ඔවුන් පැමිණි වාහනය නිවාස සංකීර්ණය අසල නවතා ඇති ආකාරය ද එම දර්ශනවල සඳහන්.
රටේ සිදුවන වංචා, දුෂණ ඇතුළු විවිධ තොරතුරු අඛණ්ඩ ව හෙළි කරමින් අප ගෙන යන විශ්වසනීය මාධ්‍ය මෙහෙයුම අතරතුර හිරු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මෙම ප්‍රහාරය එල්ල වීම කෙරෙහි අප ද පසුවන්නේ නිරන්තර අවධානයකින්.
ඒ අනුව හිරු සී.අයි.ඒ. කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කළා.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් දුරකතන අංක 0770 322 821 ඔස්සේ හිරු සී.අයි.ඒ. වෙත ඔබට දැනුම්දිය හැකියි.
එලෙස හිරු සි.අයි. ඒ වෙත තොරතුරු ලබා දෙන ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරන බවට අප ඔබට සහතික වනවා.
Share This Article