මාධ්‍යවේදී චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සෙවීමට පොලිස් කණ්ඩායම් තුනක් (Video)
Monday, 14 February 2022 - 13:54 | Views - 550

හිරු ටී.වි. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ විමර්ශන කණ්ඩායම් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි.
හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල - ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ අද අලුයම් කාලයේදියි.
ඇසින් දුටු සාක්ෂි සඳහන් කළේ, ගිනි අවි පෙන්වා එම පිරිස නිවාස සංකීර්ණයට ඇතුලු වී ඇති බවයි.
අද අලුයම 2.10ට පමණ අදාළ නිවාස සංකීර්ණයට වැගන් ආර් වර්ගයේ සුදු පැහැති වෑන් රථයකින් මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ තිබෙනවා.
ඔවුන් ආරක්ෂක අංශයට තර්ජනය කර නිවාස සංකීර්ණයට ඇතුළු වී හිරු ටීවී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාර එල්ල කර ඇති අතර, එමඟින් නිවසේ ජනෙල්වලටද හානි සිදු වුණා.
සිදු කෙරෙන විමර්ශන සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, පිළියන්දල සහ කැස්බෑව පොලිසිවල ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් කැඳවා තිබෙනවා.
ඊට අමතරව ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, ඇඟිලි සළකුණු ලබාගන්නා නිලධාරීන්, නිල සුනඛයන් මෙන්ම දුරකථන කුලුණු වාර්තා ද ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට යි නියමිත ව ඇත්තේ.
මේ අතර නාඳුනන කණ්ඩායම නිවාස සංකීර්ණයට පැමිණෙන බව දැක්වෙන සී.සී.ටී.වී දර්ශන ද මේ වනවිට නිකුත් වී තිබෙනවා.
හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසේ සවි කර ඇති සී.සී.ටී.වී. දර්ශනවලට අමතර ව අදාළ පුද්ගලයින් පැමිණි ගමන් මාර්ගය සොයාගැනීමෙන් අනතුරුව අනෙකුත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ද පරීක්ෂා කිරීමට යි නියමිත ව ඇත්තේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් 0770 322 821 ඔස්සේ හිරු සී.අයි.ඒ. වෙත ඔබට දැනුම්දිය හැකි යි.
Share This Article