"මම උත්සහ කළා මාව වෙනස් කරගන්න. ඒත් බැරි වුණා."
මාධව වැදගත් ආදි පරම්පරාවක වර්තමාන අවසන් පුරුක. මාධවගෙ පියාට ඕන කරලා තිබුණේ ඔහුව වැදගත් පැලැන්තියක ගැහැණු ළමයෙකුට විවාහා කරලා දීලා මුණුබුරකුගෙ හුරතල් බලන්න.
ඒත් මහ නුවර ප්‍රසිද්ධ බාලක පාසලක ඉගෙන ගත්තු මාධවට පාසල් ප්‍රේමයක් තියා පසුකාලීනවවත් සරසවි ප්‍රේමයක්වත් තිබුණෙ නෑ.
විදුලිබල මණ්ඩලයේ ඉහළ තනතුරකට රැකියාවට අවතීර්ණ වුණාට පස්සේ දෙමව්පියෝ මාධවට මංගල යෝජනා ගේන්න පටන් ගන්නවා. ඒ කිසිම එකකට විශේෂ කෑමැත්තක් නොතිබුණු මාධව දෙමව්පියන්ගෙ බල කිරීමටම දිල්ශානිට කැමති වෙනවා.
හරසරින් ගත්තු මංගල උත්සවය අවසානයේ යුවළ මධුසමය සඳහා පිටත් වෙනවා. ඒත් ඒ මධුසමය විවාහයෙන් දින ගණනක්.. සති ගණනක්.. අවසානයේ මසකුත් තවත් කල් නික්මෙන තුරු පටන් ගන්නෙ නෑ.
මාධවගෙ පියා මුණුබුරෙකුගෙ අවශ්‍යතාවය පැහැදිලි කරන මුල්ම මොහොතෙ ම රතු කට්ට පැනපු දිල්ශානි මාධව රැකියාව නිම වෙලා නිවසට එනතුරු බලාගෙන ඉඳලා ඔහුට හොඳටම දෙහි කපන්න පටන් ගන්නවා. මාධව සියල්ල පාපොච්චාරණය කරන්නේ ඔය මොහොතේ.
"මට සමාවෙන්න, මට ඔයා ගැන කිසිම හැඟීමක් දැනෙන්නෙ නෑ. මට ඒක අමාරුයි. මම උත්සහ කළා මාව වෙනස් කරගන්න. ඒත් බැරි වුණා. මට මිතුන් කියලා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා... අපි නිතර හම්බ වෙනවා, ආදරේ කරනවා.. එකට ඉන්නවා... මට මේක අප්පච්චිලාට පැහැදිලි කරන්න පුළුවන් කමක් නෑ. එයාලාට පරම්පරාවෙ නම්බුවයි වැදගත්. කරුණා කරලා මට උදව් කරන්න. ඔයා කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයා එයාව ආශ්‍රය කරන්න. දරුවෙක් හදන්න. මම තාත්තා විදියට ඉන්නම්... ඒත් මට වෙන කිසිම දෙයක් කරන්න බෑ..."
දුම්මල වරම අතට ගත්තු දිල්ශානි ඒ මොහොතෙම රෙදි ටික පොට්ටනි බැඳගෙන ගෙදරින් පිටත් වෙනවා. අන්තිමට කවුරුත් දැනගන්නවට බයේ තමන්ගෙ බිරිඳව වෙන මිනිහෙකුට දීලා අනුන්ගෙ දරුවෙකුට තාත්තා කෙනෙකුත් වෙන්න හදපු මාධවව දිල්ශානි පොලිසි උසාවි යවනවා විතරක් නෙමෙයි, පත්තරේ දාන එක ඇරුණම සිද්ධියට දෙන්න පුළුවන් උපරිම ප්රචාරයත් දෙනවා.
ප්‍රශ්න පොරොවෙන් කපන තරමේ ලොකු ගස් බවට පත් කරගත්තම හානිය විශාලයි.