74 වන නිදහස් දිනය අදයි - නිදහස ලැබුණු හැටි දැනගන්න (LIVE)
Friday, 04 February 2022 - 7:51 | Views - 1,568
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජීතයක් බවට පත් වූයේ වර්ෂ 1815 දීය. ඒ අධිරාජ්‍යවාදී පාලනයෙන් ශ්‍රි ලංකාව නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදාය.

බ්‍රිතාන්‍යයන්ගේ යටත්විජිතයක් වීමට පෙර සිටම ශ්‍රී ලංකාවට නිදහස අහිමි වූ අවස්ථා බොහොමයක් තිබෙනවා.

පාණ්ඩය, චෝල, කාලිංග මාඝ, එලාර වැනි පාලකයින්ගේ යටත් විජිතයන් බවට පත් වූ අවස්ථා වලදී මෙරට සිටි රජවරුන් විසින් යුධ වැදී ශ්‍රී ලංකාව නිදහස් කරගත් අවස්ථාද බොහෝ ය.

වර්ෂ 1505 දී එනම් 16 වෙනි සියවස ආරම්භයේ දී පෘතුග්‍රීසී ජාතීන් අහම්බෙන් මෙන් මෙරටට පැමිණ දේශපාලනය හා ඒකාබද්ධ වූහ.

1505 දී මෙරටට පය තැබූ පෘතුගීසී හූ ලංකාවේ මුහුදුබඩ පෙදෙස්වල බලය ඉතා සූක්ෂම ලෙස අත්පත් කරගත්තේ ය..

ඉන් පසු මෙරටට සම්ප්‍රාප්ත වූ බටහිර ජාතිය වූයේ ලන්දේසීන් ය.ඒ වර්ෂ 1603 දීය.

එතැන් සිට ඔවුන් මුහුදුබඩ පළාත් හා සම්බන්ධ වුවත් පෘතුග්‍රීසීන්ගේ අවසන් බල කොටු දෙක වූ මන්නාරම හා යාපනය කොටුව බළකොටු අත්පත් කරගෙන කේන්ද්‍රීය ලෙස තම බලය ස්ථාපිත කර ගන්නා ලද්දේ‍ වර්ෂ 1658 න් පසුවය.

බ්‍රිතාන්‍යයෙන්ගේ මෙරට ආගමනය සිදු වන්නේ 18 වන සියවස තුළදීය. එසේ පැමිණී බ්‍රිතාන්‍යයන් විසින් 1802 න් පසු ලංකාවේ මුහුදු බඩ පළාත් පාලනය කිරීමට පටන් ගන්නා ලදී.

මුහුදු බඩ පෙදෙස් පාලනය කරන ලද බ්‍රිතාන්‍යයන්ගේ ඊළඟ අරමුණ වූයේ සමස්ත දිවයිනම තමන්ගේ කිරීටයට යටත් කර ගැනීමයි.ඒ සදහා තිබූ එකම බාධකය වූයේ උඩරට රාජධානියයි.

සිංහලයන්ගේ මුදුන් මල්කඩ වූ දන්න ධාතූන් වහන්සේ උඩරට රාජධානිය සතුවීමත්, වසර 2000පමණ පැරණි රාජ්‍යත්වයේ සංකේතය වූ රාජ පරම්පරාවක් පැවතීමත්, කිසිම ආක්‍රමණයකට පැරැද්දවිය නොහැකි සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාව ප්‍රගුණකළ පුද්ගලයින් සිටීමත් නිසා පහසුවෙන් ඉංග්‍රීසීන්ට උඩරට අත්පත් කරගැනීමට නොහැකි විය.

මීට අමතරව උඩරට රාජධානිය වටා ගොඩනැගී තිබූ ස්වාභාවික ගිරි දුර්ග, ජලදුර්ග, වනදුර්ගයන් නිසා ප්‍රභල හමුදාවක් සමඟ ආක්‍රමණයට පැමිණියත් සිංහලයන්ගේ ගරිල්ලා සටන් ක්‍රම හමුවේ ඉංග්‍රීසීන්ට අයත් වූයේ අන්ත පරාජයකි. මේ නිසා යුද්ධයෙන් ජයගත නොහැකි උඩරට රාජධානිය ලබා ගැනීමට දේශපාලනමය වශයෙන් කැරැල්ලක් ඇති කිරීමට ඉංග්‍රීසීන් පෙළඹෙන්නේ මේ නිසාය.

උඩරට සිංහල රදල නායකයින් අතර බලය වෙනුවෙන් ව්‍යාජ සටනක් ඇති කරවා එම සටන ඔස්සේ උපක්‍රමශිලීව උඩරට රාජධානිය බිද වැට්ටවීමට ඉංග්‍රීසීන් කටයුතු කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස 1815 මාර්තු 02 වන දින උඩරට ප්‍රධානීන් විසින් මහනුවර මඟුල් මඩුවේ දී බන්දේසියක තබා ඉංග්‍රීසීන්ට ශ්‍රී ලංකාව පවරා දෙනු ලැබුවේය.

1815 මාර්තු 02 වැනි අත්සන් කළ උඩරට ගිවිසුම අනුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතුවූ අතර අපගේ සෛවරීත්වය බිද වැටීමේ පළමු නෛතිකමය පියවර ද එය විය.

එසේම බ්‍රිතාන්‍යයන්ට යටත් වීමත් සමගම මෙතෙක් පැවැති ශ්‍රී ලාංකේය රාජාණ්ඩු පාලනයද බිඳ වැටිණි.

ඒත් සමඟම එතෙක් පැවති සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයද බිඳ වැටුණි.

ස්වයංපෝෂීත ආර්ථික රටාවක් පැවති මෙරට තුළ ආනයන අපනයන මත පදනම් වූ ආර්ථීක රටාවක් ඇති විය. දේශීයත්වය හා දේශීය සම්ප්‍රදායන් නොතකා හැරි බ්‍රිතාන්‍යය පාලකයෝ වතුවගාවට මුල්තැනක් දුන්හ.

තේ, කෝපි, රබර් වැනි වතු වගා වලට මේ මහපොළොව වෙන්වූයේ බ්‍රිතාන්‍යන්ගේ වගා සංකල්ප වල ප්‍රතිඵලයක් වශයෙනි.

උඩරට ගිවිසුම යටතේ රදල අධිපති වරුන්ට ලබා දුන් පොරොන්දු බ්‍රිතාන්‍යයන් විසින් අමු අමුවේම උල්ලංඝනය කරන ලදී.

මෙය උඩරට රදළයන් තුළ මෙන්ම ජනතාව තුළද කලකිරීමක් දනවන්නට හේතු වූ අතර ආගමික නායකයන්ද ද මහත් නොසන්සුන්තාවකට පත්කල කරුණක් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1818 මෙරට ප්‍රථම නිදහස් සටන ආරම්භ විය.

දේශපාලන අස්ථාවරභාවයත්, තනතුරට කෑදර කමින් සිංහල නායකයින් පාවා දීමත් යන කරුණු හේතුවෙන් එම කැරැල්ල උපන් ගෙයිම අසාර්ථක විය. එකී නිදහස් අරගලයට පණපෙවු මඩුගල්ලේ දිසාව, කැප්පෙට්ටිපොල අදිකාරම්, වැනි වීරයන්ගේ හිස් ගසා දැමු අතර ඇතැම් සිංහල නායකයන් රටින් පිටුවහල් ද කෙරුණි. උඩරට ප්‍රදේශ වතුපිටි භවබෝග හරකා බාන විනාශ කරමින් ජනජීවිතයට වින කැටු බ්‍රිතාන්‍යයෝ තම ආධිපත්‍යය දිගින් දිගටම පතුරුවා හැරියහ.

මේ කැරැල්ල ඇති වී වසර 30කට පසු නැවතත් සිංහලයන් විසින් බ්‍රිතාන්‍යන්ට විරුද්දව කැරැල්ලක් ඇති කලේය. ඒ 1848 වර්ෂයේදීය.

එම කැරැල්ලට ආසන්නතම හේතුව වූයේ බ්‍රිතාන්‍යය පැනවූ අසාධාරණ බදු ක්‍රමයයි. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟින් වැවිලිකරුවන් කෙරේ වැඩි අවධානයක් යොමුවෙන, ගැමියන් කෙරේ ඉතා අඩු සැලකිල්ලක් දක්වන වාතාවරණයක් ලංකා සමාජය තුළ ඇති විය.

කෘෂිකර්මය පිරිහී යාම නිසා වැව් අමුණු කේන්ද්‍ර කරගත් වාරිමාර්ග පද්ධතියද පිරිහීමට ලක් විය.

දුරාචාරය රටපුරා පැතිර ගියේය. ගැමියන් සතු වූ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් වතුවගාව සදහා ලබා ගත්හ. බෞද්ධාගමට සිදු වූ කෙනෙහිලිකම් නිසා භික්ෂූන් වහන්සේලා මහත් සේ කලකිරීමට පත්වූහ.

උඩරට රදළයෝ නොසන්සුන් වූහ. එයට විරෝධය පෑම සදහා සිංහලයෝ ද එක් වූහ. බ්‍රිතාන්‍යයෝ බලුබද්ද, බෝට්ටු බද්ද, මාර්ග බද්ද, තුවක්කු බද්ද, ඇඟ බද්ද, වැනි අසාධාරණ බදු පැනවීම් කලේ මෙම වාතාවරණය මධ්‍යයේය.

මේ බදු ඇතුළුව බදු වර්ග 30 ක් පමණ පනවන්නට බ්‍රිතාන්‍යයෝ සුදානම් වූහ. මේ ආරංචියෙන් රට පුරා ජනතාව මහත් සේ කළබලයට පත් වූහ. 1848 මාතලේ කැරැල්ලට ආසන්නම හේතුව ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ මේ වාතාවරණය නිසා ජනතාව තුළ ඇති වූ පීඩනයයි.

වීර පුරන් අප්පු, හඟුරන්කෙත ඩිංගිරාළ, ගොංගාලේ ගොඩ බණ්ඩා යන නායකයෝ මේ කැරැල්ලේ පුරෝගාමීන් වූ අතර තමන්කඩුව, නුවරකලාවිය, සතර කෝරලය, සත් කෝරලය, හරිස්පත්තුව, වැනි ප්‍රදේශ මේ සිංහල නායකයෝ තම පාලනය යටතට ගත් අතර හතර කෝරලයේ යුව රජු ලෙස ඩිංගිරාළ පත් කෙරුණි.

බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයට එරෙහිව නැගී සිටි පිරිස සිරගෙවල් වලට පහර දී ඉඩම් පනතට එරෙහි වීම නිසා සිරකරුවන් බවට පත් ව සිටි සිංහලයන් නිදහස් කරගත් අතර උසාවියට පහර දී ඉඩම් පිළිබද වාර්තා පුළුස්සා දැමූහ. ඉංග්‍රීසින් මේ නැගීසිටීම මැඩලීම සඳහා විශාල හමුදාවක් උඩරටට එවීය.

එහි දී සිංහල කැරැල්ලට නායකත්වය ලබා දුන් නායකයින් ඉංග්‍රීසීන් විසින් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන ලද අතර ඩිංගිරාළගේ මළකඳ දින ගනණාවක් පුරා එල්ලා තැබු බව ඉතිහාසයේ සදහන් වේ. ඉංග්‍රීසීන්ට එරෙහි සටනේ තවත් ප්‍රාණවත් චරිතයක් වූ කුඩාපොළ උන්නාසේ ඉංග්‍රීසීන් විසින් දළදා මාළිගාව ඉදිරිපිටදී වෙඩි තබා මරා දමන ලදී.

අවසානයේ ඒ කැරැල්ලද අසාර්ථකත්වයට පත් විය.

බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ක්‍රිස්තියානි දහම ප්‍රචාරණයට මිෂනාරී පාසල් ඇරඹීය. ක්‍රිස්තු ධර්මය පිළිබද පොත් සිංහල, දෙමළ භාෂා වලින් ද මුද්‍රණය කර බෙදා හරින ලදී.

බෞද්ධ මධ්‍යස්ථාන මුල්කරගත් අධ්‍යාපනය මේ මිෂනාරී පාසල් නිසා පරිහානියට පත් විය. මිෂනාරී පාසල් අධ්‍යාපනය උසස් රැකියාවට මග හසර උදා කළ නිසා බෞද්ධ හින්දු දරුවන් පවා එම පාසල් වලට යැවීමට මව්පියෝ කටයුතු කළහ. කෝල්බෲක් කොමිසම නිර්දේශ කළේ ප්‍රතිපත්තියක් ලෙස මේ මිෂනාරී පාසල්වල ඉංග්‍රිසීයෙන් උගන්වන ලෙසය.

මේ හේතුවෙන් බෞද්ධ හින්දු ජනතාව තම උරුමය රැකගැනීමට විවිධ ජාතික ව්‍යාපාර වලට පණ දුන්හ. වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරම ධම්මචේති විහාරය මුල් කරගෙන බෞද්ධ අධ්‍යාපනය ආයතනය පිහිටුවා තිබු අතර එය පසු කාලීනව බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.

1873 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ විද්‍යෝදය පිරිවෙණ ද 1875 දී රත්මලානේ ධර්මාලෝක හිමියන් විද්‍යාලංකාර පිරිවෙන ද ආරම්භ කරන ලදී. සිංහල ජාතියත් ආගමත් ආරක්ෂා කර ගැනීම සදහා මෙරට නායකයින් විසින් සිංහල පුවත්පත් සගරා ද ආරම්භ කරන්නට විය. ඒ හරහා නිදහස, ස්වරාජ්‍ය සංකල්පය වැනි අදහස් ජනතාව වෙත සන්නිවේදනය කරන්නට විය.

මේ තත්ත්වය තේරුම්ගත් බ්‍රිතාන්‍යයන් විසින් සිංහල ජනතාව මර්ධනය කරන්නට මත්පැන් මෙරට ජනතාවට පුරුදු කරන ලදී.

මත්පැන්වලින් මෙරට ජනතාව රැක ගැනීම සදහා මෙරට තුළ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ විය.

ඉස්ලාම් භක්තිකයෝද බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි වෙමින් නිදහස උදෙසා සටනට අවතීර්ණ වූහ. එම්. සී. සිද්ධි ලෙබ්බේ මේ සටනේ ප්‍රමුඛතමයෙක් වූ අතර ඔහු වටා ජාතිහිතෛෂි ඉස්ලාම් භක්තිකයෝ පෙළ ගැසුණහ. මෙහි ප්‍රතිඵලයන් ලෙස කොළඹ මුස්ලිම් අධ්‍යාපනය සංගමය පිහිට වූ අතර ඒ මගින් කොළඹ සහිරා විද්‍යාලය අරඹන ලදී.

වතු වගාව මෙරට ප්‍රචලිත වීම නිසා ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහිවිය.

1850 න් පසු උද්ඝෝෂණ ව්‍යාපාර ඇති කලේ මේ නව කොම්පදෝරු පංතිය විසිනි.

ඔවුන් විසින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියහ. ඒ උද්ඝෝෂණ වල මූලික ලක්ෂණ වූයේ සමිති සමාගම් මගින් සාමකාමීව තම ඉල්ලීම් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමය.

ලංකා ජාතික සංවිධානය, හලාවත සංගමය, යාපනය සංගමය, මහනුවර මහජන සංගමය, ලංකා මුස්ලිම් සංගමය, පහතරට වැවිලිකරුවන්ගේ සංගමය මේ සමිති අතර ප්‍රධාන විය. 1919 දී සියළු ජාතික නායකයන් එක්වී ලංකාවට නිදහස ලබා ගැනීමේ පරමාර්ථයෙන් ලංකා ජාතික සංගමය පිහිට වූයේය.

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ දේශීය නායකයන්ට රටේ පාලනයට වැඩි වශයෙන් හවුල් වීමේ ඉඩ ප්‍රස්ථාව හිමි විය.

අර්ධ වගකීමක් ඔවුන් වෙත පැවරුණී. වාමාංශික දේශපාලන ව්‍යපාර බිහිවීමද නිදහස් සටනට ප්‍රබල අත්වැලක් විය. ඔවුහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සම්පූර්ණයෙන් වෙන් වූ ස්වාධීන පාලනයක් ඉල්ලා සිටියහ.

දොස්තර එස්. ඒ වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. එම්. පෙරේරා වැනි වාමාංශික නායකයෝ එහි ප්‍රමුඛයෝ වූහ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යටත් විජිත වලට නිදහස හිමිවිය. 1947 දෙසැම්බර් 03 වැනිදා ලංකා නිදහස් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත විය.

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස ඩී. එස්. සේනානායක මහතා පත් විය. 1948 පෙබරවාරි 04 වැනිදා, උදේ 7.30 ට නිදහස් ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මුනර් ආණ්ඩකාරවරයා දිවුරුම් දුන්නේය.

ලේ වැගිරීමකින් තොරව ලබාගත් නිදහසක් ලෙස මෙය අර්ථ දැක්වුව ද සැබැවින්ම මේ නිදහස වූ කලී කාලාන්තරයක් තිස්සේ සිදු වූ විශාල කාර්ය භාරයක ප්‍රතිඵලයකි.

1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ අතර බ්‍රිතාන්‍ය පාලනයෙන් පූර්ණ නිදහසක් අප ලද්දේ එතැන් සිටය.

කෙසේ වෙතත් අද දින 2022 වර්ෂයේ මේ අප සමරන්නේ 74 වන නිදහස් දිනය යි. 



Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
අම්මා... මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටිනාම වස්තුව ඇයිදැයි ඇසුවහොත් ඊට දිය හැකි...
Hiru Tv Blog
අමෙරිකානු සුපිරි පොප් ගායිකාවක වන Ariana Grande, තමන්ගේ ගීත අමෙරිකානු ධවල මන්දිරයේ ප්‍රචාරක...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top