මෛත්‍රීගේ පුරුද්දක් ගැන ජොන්ස්ටන් තිලංගට කියූ රහස
Thursday, 03 February 2022 - 15:52 | Views - 493
විපක්ෂය ආණ්ඩු බලය ගැනීමේ සිහිනයක සිටිනවා.ආණ්ඩුව ජනතාව හමුවේ බොහෝ ප්‍රශ්න නිර්මාණය කරනවා. ජනතාව දිනෙන් දින කබලෙන් ලිපට ඇද වැටෙනවා.

උත්තරයක් නොමැති ප්‍රශ්න රැසක ජනතාව අතරමං කරමින් තවත් දේශපාලන සතියක් ගෙවී ගියා.

බැංකු ගිණුමේ මුදල් අඩුවන බව මහින්දට දූරකථනයෙන් දැනුම් දුන්නේ කවුද ?

අගමැතිගේ බැංකු ගිණුමකින් රුපියල් කොටි ගණනක මුදලක් වංචා කළ ලේකම් වරයෙකු ගැන රට හමුවේ හෙළිදරව් වුණේ අගමැතිගේම පවුලේ ම සාමාජිකයෙකු විසින් ඒ පිලිබඳ ව හෙළිදරව් කිරීම නිසාය.එසේ නොවන්නට අගමැති මහින්ද රාජපක්ෂට මෙරට බැංකු ගිණුමක එවැනි මුදලක් තිබෙන බව කවුරුන් හෝ මිට පෙර ගනන් , මිනුම් සහිතව ම කියා තිබුණේ නැත. එනමුත් විපක්ෂයේ ඇතැමුන් අදටත් පවස්නේ රාජපක්ෂලාගේ විදේශ බැංකු ගිණුම් වල නම් ඩොලර් කෝටි ගණන් තිබෙන බවයි.

හිටපු කථානායක වරයෙකු මෙන්ම ඇමැතිවරයෙකු වූ විජමු ලොකු බණ්ඩාර ගේ පුතෙකු වන උදිත ලොකු බණ්ඩාර විසින් මෙම වංචාව කර තිබෙන බව අද වනවිට මුළු රටම පහේ කථාවෙන කාරණයක් වී තිබෙනවා.
 
කෙසේ වෙතත් නීතිය හමුවේ නම් එය තවමත් චෝදනාවක් පමණයි.වාර්ථාවෙන තොරතුරු අනුවනම් මේවනවිට ඔහු එම වංචාව පිළිගෙන එම මුදල් ටික ටික ගෙවීමට පවා එකඟ වී තිබෙනවා.

රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් අගමැතිවරයාගේ එම ගිණුමේ තිබී ඇති බවයි සඳහන් වන්නේ. තමා ළග කලක් පටන් තිබී ඇති එම ගිණුමේ ඒ ටි එම් කාඩ් පත උපයෝගී කරගනිමින් ඔහු මෙම මුදල් වංචාව කර තිබෙන බවයි සඳහන් වන්නේ.

තමාගේ ගිණුමෙන් මෙලෙස මුදල් වියදම් කිරීමක් සිදුවෙන බව මහින්ද රාජපක්ෂට ම පළමුවෙන් දැනගන්නට ලැබී තිබෙනවා.අදාළ ලේකම් වරයා මිට ආසන්න දිනකදී රෙදිපිළ සාප්පුවකින් ඇදුම් පැළදුම් ගෙන තිබෙනවා .ඉන්පසු ඔහු මෙම ඒ ටි එම කාඩ්පත මගින් ඒ සඳහා වන ගෙවීම කර තිබෙනවා. පසුව උදිත ලොකු බණ්ඩාර රෙදිපිළි සාප්පුවෙන් පිටව ගොස් තිබෙනවා.
 
ඔහු ගිය පසු එම රෙදිපිළ සාප්පුවේ හිමිකරු මහින්ද රාජපක්ෂව දුරකථනයෙන් අමතා මෙසේ පවසා තිබෙනවා. ''ඇයි සර් සල්ලි දීලා මේ අපෙන් බඩු ගන්නේ.මට කිව්වානම් මම ඔය ටික අරගෙනම එනවනේ ''මහින්ද රාජපක්ෂගේ ඉතා සමීප මිතුරෙකු වූ වෙළඳ සැල් හිමිකරු එලෙස පවසා තිබෙනවා.

කිසිවක් නොදන්නා අගමැතිවරයා පුදුමයට පත්ව තිබෙන බවයි සඳහන් වන්නේ. වෙළඳසැල් හිමිකරුවා අදාළ කාඩ් පත මහින්ද රාජපක්ෂ ගේ බව දැනැගෙන ඇත්තේ එම කාඩ් පතේ මහින්ද රාජපක්ෂ යනුවෙන් නම සඳහන්ව තිබී ඇති නිසයි.

මහින්දගේ අසනීපය ගැන ලොකු කතා බහක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට ලොකු අසනීපයක් තිබෙන බව ට බොහෝ අවස්ථාවල කට කථා පැතිරී තිබෙනවා.නමුත් ඔහු ඉතා නිරෝගී සුවෙන් සිටින බවයි ඔහුට හිතවත් බොහෝ දෙනා පවසන්නේ.පසුගිය දිනවලද අගමැතිවරයා පිළිබඳව රට පුරා කථා පැතිරුණේ සැත්කමක් සඳහා ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීම නිසයි.අගමැතිවරයාගේ මුඛයේ සැත්කමක් සඳහා ඔහු මෙලෙස රෝහල්ගත වී ඇති අතර පසුදා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

අගමැති සහ හිටපු ජනපති එකම මේසෙක ලොකු කතාවක.

පසුගිය දිනවල දේශපාලන සමාජයේ ඉහලින්ම කතාවුණු මගුල්ගෙයක් තිබුණා.ගෙයක් කිවුවට මේ මගුල තිබුණේ කොළොඹ ලොකුම හෝටල් 3 කයි .දවස් 3 ක් හෝටල් 3 ක පැවති මේ මගුල් ගෙදරට ජනාධිපති අගමැති ඇතුළු පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනයේ හිටපු සභාපති වරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු වන තිලංග සුමතිපාල මහතාගේ වැඩිමල් පුතාගේ මංගල්‍ය මෙලෙස ජයටම සමරා තිබුණා.අගමැති මහින්ද ට සහ හිටපු ජනාධිපතිට එකම මේසෙක එකම ලඟ අසුන් පනවන්න තිලංග කටුතුකර තිබුණේ ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය පිළිබඳව තිලංග හොදින් දන්නා නිසා විය යුතුයි.

අගමැති මහින්ද කල් ඇතුවම පැමිණ තිලංගට සහ ඔහුගේ බිරිඳට මෙන්ම මනාල යුවළටත් කතා කර වාඩි වී සිටියා.ඒ වන විටත් අමාත්‍ය වරුන් රැසක් මංගල උත්සවයට පැමිණ සිටියා.හිටපු ජානාධිපති මෛත්‍රිපාල සිරිසේන ඈත සිටම එන දුටු මහින්ද ඔහුව සිනහා මුසු මුහුණින් පිළිගෙන එන්න මෛත්‍රි කියමින් ලඟින් වාඩිකර ගත්තා.තිලංගත් ඒ අසලම සිටියා. මහින්ද සහ මෛත්‍රි දිගු කථාවකට වැටුණා.වටේ සිටි මැති ඇමති වරු මේ නායකයින් දෙදෙනාගේ සුහද කථාවට ඉඩ දෙමින් ඈතට වී සිටියා.

''සර් ලා දෙන්නා ඔහොම එකට ඉන්නකොට වඩාත්ම සතුටු වෙන්නේ අපේ ශ්‍රී ලකා නිදහස් පාක්ෂිකයෝ යි'' තිලංග හැමෝට ඇසෙන්න කිව්වා.

''ඒක නෙමේ අයිමත් ආප්ප කළා black කොපි බොන්න කතාකරයිද දන්නේ නෑ.ඒ හින්දා ටිකක් ඇහැගහගෙන ඉන්න'' ජොන්ස්ටන් තිලංග ට රහසින් කියමින් සිනාසුණා.

උදෑසන 10.30 ට පමණ පැමිණි මහින්ද පස්වරු 3.00 පමණ වන තෙක් මංගල උත්සවයේ රැදී සිටීම තිලංගට නම් ලොකු සතුටක් වුණා.

නායක හාමුදුරුවන් පිරිසක් ජනාධිපතිට කළ අනුශාසනා

පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයා නැවත වතාවක් ''බෞද්ධ උපදේශක සභාව'' රැස් කළා. මෙම බෞද්ධ උපදේශක සභාව ඒ වන විට අවසන් වරට රැස් ව තිබුණේ පසුගිය අවුරුද්දේ ජූලි මාසයේදීයි.ඉන්පසුව කොයිඩි පැතිරීමේ තත්ත්වය අයහපත් අතට හැරුනු නිසා බෞද්ධ උපදේශක සභාව දිගින් දිගටම රැස්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වුණා.

"මේ උපදේශක සභාව අපි මාසෙන් මාසේ රැස් කරන්න ඕන. අපි රාජ්ය නායකයෝ හැටියට දිගින් දිගටම අපේ විහාරස්ථාන එක්ක තියන තියෙන සම්බන්ධතාවය රැකගන්න ඕන. මම හිතන්නේ හැම මාසයකම තුන්වැනි සිකුරාදා අපි මේක රැස් කරමු..."
ජනාධිපතිවරයාගේතීරණය වූයේ එයයි.

පසුගිය සති අන්තයේ සෑම පාර්ශවයකම නායක හා අනුනායක හිමිවරුන් ගේ සහභාගීත්වය ඇතුව ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් මෙවර බෞද්ධ උපදේශක සභාව රැස්කරන්නට තීරණය කළේ ඒ අනුවය. මෙම රැස්වීම සඳහා සෑම ප්රසිද්ධ විහාරයකින්ම විහාරාධිපති හිමිවරුන් ගෙන්වාගන්නට කටයුතු කර තිබීම විශේෂත්වයක් වුණා.

ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේ ප්‍රධාන පෙළේ පන්සල්වලට හා විහාරස්ථානවලට මෙන්ම දුර ඈත ප්‍රදේශවල ලොකු කුඩා විහාරස්ථානවලට දැනට තිබෙන අඩුපාඩු හා දුෂ්කරතා ගැනයි. ස්වාමින් වහන්වහන්සේලා මෙහිදී විවිධ කරුණු ජනාධිපතිවරයා ගේ අවධානයට යොමු කර සිටියා.

සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක, ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන අයට අමතරව බුද්ධ ශාසන අමාත්යංශයේ නිලධාරීන් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් රැසක් ද මේ සදහා සහභාගි වී සිටියයා.

නියංගොඩ විජිතසිරි හිමි, වෙඩරුවේ උපාලි හිමි, මැදගම ධම්මානන්ද හිමි ඇතුළු අනුනායක ස්වාමීන් වහන්සේලා මෙහිදී ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් අනුශාසනා කිහිපයක් කර සිදු කිරීම විශේෂත්වයක් වුණා.

"අපිට මේ වෙන ඕනම දෙයක් විවේචනය කරන්න ලේසියි. හැබැයි ප්රශ්නේ තියෙන්නේ මේ අභියෝගාත්මක අවස්ථාවේ නොසැලී පරාජය නොවී ඉන්න එකයි. ජනාධිපතිතුමාට මොන තරම් අභියෝග ආවත් ප්රශ්න ආවත් එතුමා මේ කිසිම දෙයකින් සැලුනේ නෑ. එතුමන් බොහොම ධෛර්ය සම්පන්නව ඉදිරියට ගියා.

යම් යම් වැරදි අඩුපාඩු සිදු වුනේ නැතුව නොවේයි. හැබැයි මේක බොහොම දුෂ්කර අවස්ථාවක් කියලා අමතක කරන්න හොඳ නැහැ. අපි මේ වෙලාවේ මහා සංඝරත්නය හැටියට ජනාධිපතිතුමන්ව තනි කරන්න හොඳ නෑ." උන් වහන්සේලාගේ දේශනාව වුයේ එයයි.

"මේක ජනාධිපතිතුමාට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආණ්ඩුවෙම ඉන්න අනිත් අයත් විපක්ෂයේ ඉන්න මහත්වරුත් ඊළග ඡන්දය ගැන හිතාගෙනම වැඩ කරන්නෙ නැතුව මේ දුෂ්කර වෙලාවේ රට ගොඩනඟන්න රාජ්ය නායකයා ට උදව් කරන්න හිතනවා නම් ඒක රටට ජාතියට ඉටු කරන ලොකු සේවාවක්." අනුනායක හිමිවරුන් ගණනාවක්ම මේ අයුරින් ජනාධිපති වරයාගේ ධෛර්යය වඩමින් අනුශාසනා කළ අතර ජනාධිපති වරයාද මහත් උනන්දුවෙන් එම අනුශාෂනා අසාගෙන සිටියා.

ලංකාවේ යුද්දය ගැන ඉන්දියාවේ ලිය වී ඇති පොත්

ඉකුත් දා ජනාධිපති ගෝඨාභය හමුවන්නට ඔහුගේ පැරණි මිතුරෙකු පැමිණියා.

ජනාධිපතිවරයා හමුදා නිලධාරියෙකු ලෙස යුධ හමුදාවේ ගජබා රෙජිමෙන්තුවේ සේවය කළ සමයේ ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස හමුදාවේ සිටි පසු කලෙක යුද හමුදාපතිවරයා බවට ද පත්වුණු ඔහු විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යි. ජනාධිපති තම ජෙෂ්ඨ නිලධාරියා ඉතා උණුසුමින් පිළිගනු ලැබුවා.

හිටපු හමුදාපතිවරයාගේ මෙම ගමනට විශේෂ හේතුවක් වුණේ ඔහු විසින් ලියන ලද යුධ හමුදා ජීවිතයේ අත්දැකීම් ඇතුළත් සුවිශේෂී ග්‍රන්ථයක මුල් පිටපත ජනාධිපතිවරයාට ප්‍රධානය කිරීමයි.

හිටපු හමුදාපතිවරයා විසින් රචිත ''tha conflict that eluded peace'' ග්‍රන්ථය අතටගත් ජනාධිපති එහි පිටු එකිනෙක පෙරළා බලමින් ඇතුළාන්තයේ වූ ඡායාරූපවලට හා විස්තරවලට අවධානය යොමු කරමින් හමුදාපති සමග පිළිසඳරක නිරත වුණා.

"අපට දශක තුනක් තිස්සේ ඇදුනු විශාල යුද්ධයක් තිබුණා. අවුරුදු තිහක් කියන්නේ පුංචි කාලයක් නෙමේ. වෙන රටවල් වල නම් මේ ගැන විශාල යුද සාහිත්‍යක් ලියැවිලා. යුද්දෙ ගැන ලියන්න අපි හැමෝටම අත්දැකීම් රාශියක් තිබුනත් කවුරුත් වැඩිය ලියලා නෑ... ඒක අපේ ලොකු අඩුපාඩුවක්."

ජනාධිපතිවරයා එසේ කියත්ම හමුදාපති කෝට්ටේගොඩ පැවසුවේ ''අපේ රටේ කොහොමටත් යුද සාහිත්‍යක් කියලා දෙයක් බිහි වුණේ නෑනේ.'' කියාය.

"මම මේ යුද්දෙට සම්බන්ධ වෙනකොට පාබල හමුදාවේ මේජර් වරයෙක් වෙලා හිටියා. එදා ඉඳලා මම ලංකාවේ විවිධ පළාත් වල විවිධ මෙහෙයුම් වලට සම්බන්ධ වුනා. මේජර් රෑන්ක් එකේ ඉඳලා හමුදාපති දක්වා ගිහින් විශ්‍රාම යනකම්ම මම හිටියේ යුද්දෙත් එක්ක. ඒ කාලේ ලබපු අත්දැකීම් වලින් තමයි මම මේ පොත ලිව්වේ..."

"අපේ රටේ තිබිච්ච යුද්ධෙ ගැන අපේ අයට වඩා පිටරටවල්වල අය පොත් ලියලා තියනවා ..."ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ කිව්වා.
''මොනවද ඒ'' ජනාධිපතිවරයා ඉතා ඔනෑකමකින් විමසුවා.

"ඇයි ඉන්දියන් සාම සාධක හමුදාවේ ජෙනරාල් වරු දෙන්නෙක්ම ලංකාවේ යුද්ධය කාලයේ ඒගොල්ලන්ගේ අත්දැකීම් අළලා පොත් ලියලා තියෙනවා. ඒව ඉන්දියාවේ හරි ප්‍රසිද්ධයි. " ශාන්ත කෝට්ටෙගොඩ විස්තර කළා.

යුද්ධයේ බිහිසුණු ම අවධියේ තමන්ට අත්දකින්නට සිදු වූ අමිහිරි අත්දැකීම් රැසක් තම ග්‍රන්ථයටl අතුලත් කර ඇති බව කෝට්ටගොඩ ජනාධිපතිවරයාට විස්තර කළා.

"කාලයක් තිබුණා රට යුද්ධ දෙකකට මැදිවුණු."ඔව්. ඒ කාලේ උතුරේ වෙන යුද්ධයක්. දකුණේ තවත් යුද්ධයක්නේ.""අන්තිමට අපි අවසන් කළේ රට පුරාම පැතිරිලා ගියපු යුද්ධයක්." ජනාධිපති කීව්වා. මේ අයුරින් පැය භාගයකටත් වඩා වැඩි වේලාවක් දෙදෙනා අතර සුහද පිළිසඳර පැවැත්වුණා.

ප්‍රශ්න ජනතාවට කියලා තේරුමක් නෑ .ජනතාව ලඟ උතර නෑ -ජනාධිපති

විදුලිය කැපීම සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍යංශ දෙකක ඇමතිවරුන් නිලධාරීන් හා නියෝජිතයින් රැසක් ජනාධිපති කාර්යාලයට කැදවා තිබුණා.බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල,විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ යන දෙදෙනා සහ ඔවුන්ගේ අමාත්‍යාංශවල නිලධාරීන් මිට එක්ව සිටියා.මිට අමතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ මහජන උපයෝගිතා කමිටුවේ නිළධාරීන් ද මිට සහභාගී වී සිටියා.

"දැන් සති ගාණක ඉඳලා මේ ප්‍රශ්නේ තමයි අපේ රටේ පළමු පුවත වෙලා තියෙන්නේ. විදුලිය කපනවා කියනවා. කපන්නේ නෑ කියනවා. තෙල් නෑ කියනවා. තෙල්වලට ගෙව්වා කියනවා.ප්‍රමාද ගාස්තු ගෙව්වා කියනවා. මේවා ගැන දැන් උවමනාවටත් වඩා රටේ කතාබහ වෙනවා. වියදම විතරයි. කාටවත් බැරි උනානේ තවම නිසි විසඳුමක් හොයාගන්න."ජනාධිපතිවරයා විමසුවා.

ගාමිණි ලොකුගේ වර්තමානයේ උදා වී තිබෙන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ අතර ඛනිජ තෙල් අමාත්‍යවරයා හැටියට උදය ගම්මන්පිල ද තමාගේ පැත්තෙන් තත්ත්වය පැහැදිලි කළා.'' විදුලිය කපන හැටි ගැන නොවෙයි. කපන්නේ නැතුව ජනතාවට සපයන හැටි ගැනයි අපි කතා කරන්න ඕන." ජනාධිපති පැහැදිලි කිරීමක් කළා.

විදුලිබල සභාපති හා ඛනිජ තෙල් සභාපතිවරු තම තමන්ගේ පැත්තෙන් තිබෙන දුෂ්කරතා ගැන විස්තර කියන්නට පටන් ගත්තා.

"මම ඔයගොල්ලන්ට හමුවුණාම කියන්නයි හිටියේ. ඔයගොල්ල ඉන්නේ ජනතාවගේ විදුලිය කපන්න නෙවෙයි. ජනතා බදු මුදලින් ඔයගොල්ලන්ගේ ආයතන නඩත්තු වෙන්නේ ජනතාවට හිරිහැරයක් නැතිව අකන්ඩ සේවාවක් සපයන්න. හැබැයි ඕ ගොල්ලෝ හැමවෙලේම කතා කරන්නේ ජනතාවට අන්න ඒ සේවාව සපයන්න බැරි කම ගැන විතරයි. ජනතාවගේ පැත්තෙන් මේ ප්රශ්න දිහා කවුරුවත් බලන්නේ නෑ.''ජනාධිපතිවරයා පවසන්නට වුණා.

''අනිත් එක තමයි යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් දුෂ්කරතාවක් පැන නැගිලා තියෙනවා නං ඔයාලා ඒවා ජනතාව ඉදිරියට ගිහින් කියන එකේ තේරුමක් නෑ. ජනතාව ලග උත්තර නෑ. ඒව කියන්න ඕන මේ අපිට. ජනතාවට ඒව කියන්න ගියාම ඒ මිනිස්සු තව තවත් බය වෙනවා. මේ දවස් වල ළමයි විභාග වලට ලියන්න පාඩම් කරනවා. ඒ වගේ කාල වල මොන දුෂ්කරතා තිබුණත් ඒවාට විසඳුම් හොයා ගන්නවා මිසක් කරන්ට් එක කපල දාන එක වැරදියි."

මේ අයුරින් ජනාධිපතිවරයා නිලධාරීන් හා ඇමතිවරු ඉදිරියේ අර්බුදය ගැන කරන ලද කථාව තරමක් දැඩි එකක් වුණා. සමහර සමහර නිලධාරීන් එම කතාව අවසන තරමක් හිත් රිදවා ගත් බවක් නම් පෙනෙන්නට තිබුණා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා හිටියේ කොහොමටත් හිත හොඳකින් නම් නොවන බව කාට කාටත් පැහැදිලි වුණා.

ජනාධිපති දයාසිරිගෙන් සල්ලි ගන්න කිවුවේ ඇයි ?

ලංකාවේ සුවිශේෂී සම්ප්‍රධායික කලාවන් වැඩිදියුණු කරමින් පවත්වාගෙන යන කර්මාන්තකරුවන් වෙනුවෙන් වූ ශිල්පාභිමානී සම්මාන ප්‍රධාන උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වුණා. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වුයේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ආරාධනයකට අනුවයි.

කර්මාන්ත අමාත්‍යංශය සහ ජාතික ශිල්ප සභාව හා එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණා.සම්ප්‍රධායික කලා ශිල්පීන්ගේ නිර්මාණ හා නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් ද එම අවස්ථාවේදී ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා.ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එය නරඹමින් ඉදිරියට ගියේ සම්ප්‍රධායික කලා ශිල්පීන්ගේ දක්ෂතා හා නිර්මාණශීලිත්වය ගැන ප්‍රසන්න සමග විස්තර කතාබහ කරමිනි. ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා ද ජනාධිපතිවරයාට විස්තර පැහැදිළි කරන්නට වුණා.

බතික් නිර්මාණ ප්‍රදර්ශන කුටියක ජනාධිපතිවරයා නතර වී බතික් සරම් කමිස හා සාරි නිෂ්පාදන ගැන විමසමින් සිටියා."මේවා නම් මට උත්සව වල දී නිතර දකිනවා වගේ මතකයක් තියෙනවා...""ඇයි සර් අපේ ඇමතිතුමෙක් ඉන්නවානේ බතික් වලට.""ආ. එයා අදින්නේ නම් මේවා තමයි''. ඔයගොල්ලොන්ගෙන් ද එයා මේවා අරගන්නේ. " ජනාධිපති ප්‍රදර්ශන කුටියේ සිටි අයගෙන් විමසුවා.
"ඔව් සර්. ඇමතිතුමාට ඇඳුම් දෙන්නේ අපි තමයි.""හැබැයි සල්ලි ගන්න. "කියමින් ජනාධිපතිවරයා විහිළුවක් කරමින් සිනාසුණා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් ඩයනාට උපදෙසක්.

නාරහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ 82 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ස්වාමීන් වහන්සේලා 250 නමක් විෂයෙහි මහා දානමය පින්කමක් නාරාහේන්පිට අභයා රාමයේදී පැවැත්වුණා.

ජනාධිපති,අගමැතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පිරිසක් ඊට සහභාගී වී සිටියා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත දන් පිළිගැන්වීමේ අවස්ථාව ජනාධිපති ඇතුළු සියලු දේශපාලඥයන්ට විවෘත වුණා. මුලින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රතු කැකුළු බත් පිරි බදුනක් ගෙන ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝයා වහන්සේලා වෙත පිළිගන්වන්නට වුණා. සෙසු දේශපාලනඥයෝ ද ජනාධිපතිවරයා අනුව මහා සංඝරත්නය වෙත එළවළු මාළු පිළිගන්වන්නට වුණා.

පූජ්‍යය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද දානය සඳහා ආරාධිත ව වැඩම කර සිටියා. මේ අතර ස්වාමින් වහන්සේලාට දන් පිළිගන්වමින් සිටි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය හා ස්වාමීන් වහන්සේලා අතර සුහද කතාබහක් ඇති වුණා.මන්ත්‍රීවරිය මුලින්ම කතාබහ කළේ ඉත්තෑකන්දේ ස්වාමීන් වහන්සේ සමඟයි.
ඉන්පසුව ගලගොඩාත්තේ ස්වාමීන් වහන්සේ ළඟට පැමිණ දන් පිළිගන්වන අතරතුර උන්වහන්සේ සමඟ ද කතා බහක් ඇති වුණා. මාතෘකාව කංසා වගාව නීතිගත කිරීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගෙන ආ යෝජනාව ගැනයි.

''අපෙ හාමුදුරුවනේ... මම ඒ ගැන හදාරලා යි යෝජනාව ගෙනාවේ. ඒක මත්ද්‍රව්‍යක් හැරියට භාවිතා උනාට ලෝකය පිළිගන්නෙ හොඳ ඖෂධයක් හැටියටයි. මම කියන්නේ අපි ඒවා වවලා විදේශ රටවල්වලට ඖෂධ සඳහා සැපයීම් කළොත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් කියලයි.

"ඔබතුමිය දන්නවද ඒව මොනවටද ගන්නේ කියලා. ""මම කියවලා තියෙනවා වටිනා ඖෂධයක් හැටියට ලෙඩ රෝග ගණනාවකටම පාවිච්චි කරන්න පුළුවන් කියලා""මන්ත්‍රීවරිතුමිය දන්නව නේද පාකින්සන් රෝගය... අන්න ඒ රෝගය සුව කරන්න පුළුවන් විශ්වකර්ම ඖෂධයක් හදන්න පුළුවන් කංසා ඇට වලින්. ඒක මුළු ලෝකෙම පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ..." ඥානසාර හිමියෝ ඇයට එලෙස කංසා ගැන පැහැදිළි කර දුන්නා.
ඒක තමයි අපේ හාමුදුරුවනේ මමත් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ... අපිට උදව් කරන්න..." යි කියමින් ඇය අනෙක් ස්වාමීන් වහන්සේලාට ද දන් පිළිගන්වන්නට පෙරට ගියා.

මුදල් අච්චු ගහනේ රනිල් නිසාලු

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංධාන වැඩසටහන යටතේ නව වසරේ පළමු රැස්වීම ගාල්ල නගරේදී පැවැත්වුණේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.ඔවුන් බළාපොරොත්තු නොවූ ජනතා සහභාගිත්වයක් ඊට ලැබුණා.පක්ෂයේ ක්‍රියා කරුවන් ඒ පිළිබඳව බොහෝ සතුටින් සිටින බව දකින්නට ලැබුණා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේ දී සෑම සතියකම පැවැත්වෙන පක්ෂ ක්‍රියා කරුවන්ගේ හමුව මෙවරද පැවැත්වුණා.
''මහින්දගේ ගිණුමෙන් රුපියල් කොටි 4 ක මුදල් හොරකම් කරලා.මේවා දකිනකොට අපිට කියන්න වෙන්නේ හොරුන්ගෙත් හොරු කම්භ හොරු කියලයි''.වජිර අබේවර්ධන පැවැසුවා.
''කිසිම වියදමක් නොකර එයාගේ වැටුප 2015 ඉදන් එකතු කලත් එකතුවෙන්නේ කොටි 3 ක් පමණයි.''පක්ෂයේ නියෝජය නායක රුවන් පෙන්වා දුන්නා.
''මෙයාලට කිසිම සැලැස්මක් නෑ.රට ආපස්සට ගෙනියන්න හදනවා.පාපැදිවල වැඩට එන්න කියනවා.''සාගල රත්නායකද අදහස් දැක්වූවා.
රටේ ඩොලර් නැති වුණාට රුපියල් නම් ඔනෑ තරම් තියෙනවා.මේ මාසේ දවස් 25 ට පමණක් රුපියල් කොටි 15704 ක් අච්චු ගහලා.පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර පැවසුවේ එවැන්නක්.
සියලු දෙනාගේ අදහස් අසාගෙන සිටි රනිල වික්‍රමසිංහ කතාකළා.''මේ ආණ්ඩුව දවසින් දවස ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා.ආණ්ඩුව ඔය මුදල් අච්චු ගහන තෝමස් ඩිලාරෝ කොම්පැණිය බියගමට ගෙනාවේ මමයි.ඒ නිසා තමයි අද ආණ්ඩුව මුදල් අච්චු ගසමින් ආර්ථිකය ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ'' කියමින් රනිල් සිනාසෙන්නට වුණා.

සජිත් තානාපතිවරු හමු වුණේ මොකද

ප්‍රධාන පෙළේ රටවල් 5 ක තානාපතිවරුන්ව සජිත් කොළඹදී පසුගිය දා හමු වී තිබෙනවා.වාර්ථාවෙන තොරතුරු අනුව රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.ඊට අමතර සජිත් ප්‍රේමදාස මේ දිනවල රට පුරා ක්‍රියාත්මක කරණ ප්‍රජාසත්කාර සේවා සඳහා ද සජිත් ඔවුන්ගෙන් සහයෝගය ඉල්ලා තිබෙනවා.

චම්පිකගේ 43 සේනාංකයේ ජාතික සමුළුව සජිත් මගහැරීයේ ඇයි

චම්පිකගේ 43 සේනාංකයේ ප්‍රථම ජාතික සමුළුව කොළඹදී පැවැත්වුණා.මහා සංඝරත්නයට ඇතුළු සෙසු ආගමික නායකයින්ට, දේශපාලන පක්ෂ රැසක නායකයිනට ,කළාකරුවන්ට ,ක්‍රීඩකයින්ට,සිවිල සංවිධාන ක්‍රියා කරුවන් ආතුළු බොහෝ ක්ශේත්‍රර නියෝජනය වන පරිදි විශාල පිරිසකට මේ සඳහා ආරාධනාකර තිබුණා.සමගි ජන බලවේගයේ බොහෝදෙනා මුලසිටම 43 වන සේනාංකය පිළිබඳව දැඩි විරෝධයක සිටිනවා.ඔවුන් පවසන්නේ 43 සේනාංකයද සමගි ජන බලවේගයේ කොටසක් විය යුතු බවයි.එවන් තත්වයක් හමුවේ සජිත් ප්‍රේමදාස 43 සේනාංකයේ මෙම ජාතික සමුළුවට සහභාගී වුණේ නෑ.නමුත් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ සඳහා සහභාගී වී සිටියා

'පොලිටිකල් ගොසිප්' සොයා බැලුවේ, පානුක රාජපක්ෂ


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top