ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, පවතින කාලගුණ තත්ත්වය අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමනු ඇති.
සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.
මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකියි.
මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිනවා.