හරියටම මීට වසර 26කට පෙර පෙරවරු 10යි 47ට සිදුවූයේ කුමක් ද ?
1996 වසරේ ජනවාරි 31 වැනි දින කොළඹ නගරයට හිරු උදාවූයේ තවත් එක් සාමාන්‍ය දිනයක් සනිටුහන් කරමින්.
එවකට රටපුරා වෙලාගත් කුරිරු ත්රස්තවාදයේ භීෂණය මැද්දෙන් වුව ද කොළඹ ගෙන්දගම් පොළොව කඩි ගුලක් මෙන් සක්‍රීය ව අවදි වූයේ, සුපුරුදු පරිද්දෙන්ම රටේ ආර්ථිකයට ශක්තිය සපයන ක්‍රියාවලිය වෙනුවෙන්.
නමුත් උදා හිරු කිරණ කොළඹ ධරණී තලය සිප ගනිද්දී වෙනත් සැලසුමක් සිත තබා ගත් තවත් පිරිසක් ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.
කොළඹ නගරයේ මීටර ගනණාවෙන් ගණනාවට ස්ථාපිත කර තිබූ ආරක්ෂක කපොලු මග හරිමින් මේ පිරිස බොහෝම සූක්ෂ්ම ලෙස ඔවුන්ගේ ඉලක්කය දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.
ඒ තවත් මහා ඛේදවාචකයකට මුල පුරමින්.
මේ අන් කවරෙකුත් නොව දශක තුනකට වැඩි කාලයක් මේ රට බෙදා වෙන් කර ගැනීම සඳහා අනවරත සටනක නිරත වූ එල් ටී ටී ඊ ත්රස්තවාදීන් කණ්ඩායමක්.
මෙම කුරිරු ත්රස්තවාදීන්ගේ මෙවර ඉලක්කය වී තිබුණේ මෙරට ආර්ථික හදවත වන මහ බැංකුව යි.
බෝම්බ පුරවාගත් ලොරියක් සමඟ සන්නද්ධව පැමිණි එල් ටී ටී ඊ ත්රස්තවාදීන් හරියටම උදෑසන 10.47ට එම බෝම්බ පුරවාගත් ලොරිය ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට පුපුරවා හැරියා.
ඒ සමගම සටනට බට එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් ඒ අසල තිබූ සෙලින්කෝ ගොඩනැගිල්ලට සහ මහ බැංකුවට ආර් පී ජී ප්‍රහාර කීපයක්ද එල්ල කළා.
කොළඹ නගරය පුරා තැන් තැන්වල ස්ථානගතව නිරන්තරයෙන් එල්ලවන මෙවැනි එල් ටී ටී ඊ ප්රහාරයන්ට මුහුණ දීමට සැරසී සිටින ආරක්ෂක හමුදාවන් සටනට පිවිසීමත් සමග කොළඹ කොටුව එකම යුද බිමක ස්වරූපයක් ඉසිලුවා.
මහ බැංකුවට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එතැනින් පසුබැසී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සුළු අවි ප්‍රහාර එල්ල කරමින් පැන යනවා.
මෙම අවාසනාවන්ත ප්‍රහාරය හමුවේ එදා උදෑසන කොළඹ කොටුවේ විවිධ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා පැමිණි 91ක් දෙනෙකුගේ ජීවිත අහිමි වනවා.
ඊට අමතරව මේ ගැටුම හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1400ක්.
කොටුව ඉදිරිපිට පුපුරාගිය බෝම්බය රාත්තල් 440ක පුපුරණද්‍රව්‍ය පිරවූ බෝම්බයක් බව පසුව කරන ලද පරීක්ෂණවල දී අනාවරණය වුණා.
මෙම පුරවාගත් ලොරිය පදවාගෙන පැමිණියේ රාජු නමැති මරාගෙන මැරෙන එල් ටී ටී ඊ ත්‍රස්තවාදියකු බව අනාවරණය වුණා.
හරියටම උදෑසන 10.45ට පමණ කොළඹ මහබැංකු ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණෙන ඔවුන් එහි ඉදිරිපස රැකවල්ලා සිටින රැකවලුන් සමග ගැටුමක් ඇති කර ගන්නවා.
ඒ සමඟම සන්නද්ධව ලොරියෙන් බිමට බසින එල්ටීටීඊ ත්රස්තවාදීන් මහබැංකු රැකවලුන්ට සුළු අවි ප්‍රහාරයක් එල්ල කරන අතර වාරයේ රාජු මහබැංකු ප්‍රධාන ගේට්ටුව දෙසට බෝම්බ පුරවා ගත් ලොරිය පසුපසට පදවා එය පුපුරුවා හරිනවා.
මේ සමගම මහබැංකු ගොඩනැගිල්ලට සහ එය අසල පිහිටි අනෙකුත් තට්ටු ගොඩනැගිලි වලට දැඩි අලාභ හානි සිදුවනවා.
සිද්ධිය වූ ස්ථානයෙන් පළා යමින් සිටි සුබ්‍රමනියම් විග්නේෂ්වරන් හෙවත් කිට්ටු සහ ශිවසාමි ධර්මේන්ද්‍ර හෙවත් රාජු යන එල්ටීටීඊ ත්රස්තවාදීන් දෙදෙනා ජනාධිපති ලේකම් කාර්යාල දුම්රියපොළ අසල දී ආරක්ෂක හමුදා ග්‍රහණයට හසුවනවා.
මෙම ප්‍රහාරයෙන් සියයකට අධික පිරිසකගේ ඇස්වලට හානි සිදු වූ අතර ඔවුන් බොහෝමයක් කඩා වැටුණු ගොඩනැගිලිවල වීදුරුවලට සිදු වූ කැපීම් හේතුවෙන් මෙලෙස තුවාල ලබා තිබුණා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් අනතුරුව එල් ටී ටී ඊ සංවිධානය මෙහි වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත් ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 712 සහිතව නඩුවක් ගොනු කෙරුණා.
එම නඩුවට අදාළව පසු කලක දී පාතාල ක්‍රියාකාරිකයෙකුගේ වෙඩිප්‍රහාරයක් හමුවේ ඝාතනයට ලක් වූ විනිසුරු සරත් අඹේපිටිය 2002 වසරේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ පිරිබාහරන්ට විවෘත වරෙන්තු නිකුත් කළා.
එමෙන්ම මෙම නඩු විභාගය අවසානයේ දී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව චෝදනා 51කට වරදකරු වූ වේළුපිල්ලේ පිරබාහරන් හට වසර 200 සිරදඬුවම් පැනවීමක් ද සිදු කෙරුණා.