‘හිරු සිරිපා කරුණාව’ අදයි
Friday, 28 January 2022 - 7:48 | Views - 376

අපේ කාලයේ සංවිධානය වූ ‘සිරිලක මහා වන්දනා ගමන - හිරු සිරිපා කරුණාව’ මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.
අද උදෑසන කොළඹ, පිටබැද්දර, කන්තලේ, හෙට්ටිපොල, කැබිතිගොල්ලෑව සහ බිබිල යන ප්‍රදේශවලින් පිටත් වන වන්දනා බස් රථ නල්ලතන්නියට ළඟාවීමෙන් පසු සියලු වන්දනා නඩ එක්ව සිරිපා කරුණා කිරීමට නියමිත යි.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පින්බර සංකල්පයක් පරිදි වාර්ෂිකව දියත් කෙරෙන මෙම මහා වන්දනා චාරිකාවේ දී දිවයින පුරා විසිරුණු බැතිමතුන්ට හිරුගේ සියලු පුද සත්කාර මැද ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට වරම් හිමි වනවා.
හිරු සිරිපා කරුණාව පෙරටු කර ගනිමින් උත්තරීතර පූජා කරඬු වහන්සේ 06 නමක්ද සිරිපා පුදබිම වෙත වැඩම කරවීමට හිරු මෙවරත් කටයුතු සූදානම් කළේ මග දෙපස රැස්ව මෙම පින්බර චාරිකාවට දායක වන බැතිමතුන්ට ආශිර්වාද කිරීමේ අරමුණින්.
එම පූජා කරඬු වහන්සේ වන්දනා කර පිරිකර පඬුරු හැකි පමණින් පූජා කරන්නටත් රට පුරා විසිරුණු බැතිමතුන්ට අවස්ථාව හිමිවිම විශේෂත්වයක්.
එම නිසාවෙන්ම ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පූජා කරඬු වහන්සේ වැඩම කරවීමට අප සුදානම්.
ඒ අනුව උත්තරීතර පූජා කරඬු වහන්සේ රැගෙන කොළඹින් පිටත් වන වන්දනා නඩය ගංඟාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර මාලඹේ, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, කරවනැල්ල, කිතුල්ගල, ගිනිගත්හේන, හැටන් හරහා නල්ලතන්නියට ළඟා වනවා.
බිබිලෙන් පිටත් වන වන්දනා නඩය අයිවෙල පොතුබන්දන පුරාණ රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කොට මහියංගනය, හසලක, තෙල්දෙණිය, දිගන, මහනුවර, පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන් හරහා නල්ලතන්නියට ළඟා වීමට යි නියමිත ව ඇත්තේ.
පූජා කරඬු වහන්සේ රැගෙන කැබිතිගොල්ලෑවෙන් පිටත් වන වන්දනා නඩය මැදවච්චිය, රඹෑව, මිහින්තලය, ගල්කුලම, මරදන්කඩවල, කැකිරාව, දඹුල්ල, නාවුල, මාතලේ, කටුගස්තොට, පේරාදෙනිය, ගම්පොල, නාවලපිටිය, හැටන් ඔස්සේ නල්ලතන්නියට ළඟා වනවා.
මීට අමතරව පිටබැද්දර දෙහිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයෙන් පිටත් වන වන්දනා නඩය අකුරැස්ස, ගැලණිගම, හොරණ, පාදුක්ක, හංවැල්ල, අවිස්සාවේල්ල, කරවනැල්ල, කිතුල්ගල, ගිනිගත්හේන මාර්ගයෙන් නල්ලතන්නියට ළඟාවීමටයි සැලසුම් කර ඇත්තේ.
හෙට්ටිපොල සිට ගමන් අරඹන වන්දනා නඩය කුලියාපිටිය, නාරම්මල, කුරුණෑගල, මාවතගම, කටුගස්තොට, පේරාදෙණිය, ගම්පොල, නාවලපිටිය, හැටන් හරහා නල්ලතන්නියට ළඟාවීමට නියමිතයි.
එසේම, කන්තලේ සිට පැමිණෙන වන්දනා නඩය හබරණ, දඹුල්ල, නාවුල, මාතලේ, කටුගස්තොට, පේරාදෙනිය, ගම්පොල, නාවලපිටිය, හැටන් හරහා නල්ලතන්නියට පැමිණෙනවා.
ඒ අනුව උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඳ පුඳාගෙන ආශීර්වාද ලබා ගැනීමට රට පුරා විසිරුණු සැමට අවස්ථාව සැලසෙනවා.
Share This Article