අක්‍රීය වූ කැලණිතිස්ස - යළිත් පණ ගන්වයි (Video)
Thursday, 20 January 2022 - 16:15 | Views - 877

ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක මේ වනවිට යළි පණ ගන්වා තිබෙනවා.
සංචිත ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර දෙක නවතා දැමුණේ පෙරේදා රාත්‍රී කාලයේයි.
ඒ හේතුවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ අතර කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් අහිමි වූ ධාරිතාව මෙගාවොට් 115 ක්.
කැලණිතිස්ස බලාගාර අක්‍රීය වූ පසුබිමක විදුලිබල මණ්ඩලයේ සෙසු බලාගාරවලින් ගතවූ දිනයේ මෙරට ජාතික විදුලිබල පද්ධතියට ලැබී තිබුණේ 13.5%ක විදුලි සැපයුමක් පමණයි.
මේ හේතුවෙන් ඊයේ පස්වරු 2.30න් පසු රාත්‍රී 9.30 දක්වා කාලය තුළ කලාප වශයෙන් පැයයි විනාඩි 45ක බැගින් වූ විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කෙරුණා.
කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරයට එළඹෙන 22 වැනිදා දක්වා දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් බැගින් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු සම්පාදනය කළා.
ඒ අනුව ඊයේ රාත්‍රී 11ට පමණ එම බලාගාර සංකීර්ණයට ඉන්ධන ලැබීම ආරම්භ වී තිබෙනවා.
බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, මේ දක්වා ඉන්ධන මෙට්‍රික් ටොන් 2000ක පමණ ප්‍රමාණයක් බලාගාරයට සම්ප්‍රේෂණය වී ඇති අතර අද දහවල් වනවිට එහි බලාගාර දෙකම ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට හැකියාව ලැබෙන බවයි.
ඒ අනුව අද දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කළා.
ඉන්ධන මෙට්‍රික් ටොන් 1800ක් ඊයේ රාත්‍රී 11.30ට පමණ පළමුව කැළණිතිස්ස බලාගාරය වෙත පොම්ප කිරීම ආරම්භ කර තිබුණා.
ඒ අනුව, කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි බලාගාර දෙක යළි පණ ගැන්වූ බවයි, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ, අඛණ්ඩව ඉන්ධන නොලැබුණහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.
මේ අතර, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ, මෙරටට තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමසමක් පත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමග වරායේ සිර වී තිබූ ඉන්ධන අඩංගු නෞකා දෙකක් ද ඊයේ (19) දින මුදා හැරීමට පියවර ගැනීම හේතුවෙන් අක්‍රීය වූ බලාගාර යළි පණගැන්වීමට හැකියාවක් පවතින බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර, ඊයේ පෙරවරුවේ විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කිසිම විටෙක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
මෙවන් තත්ත්වයකදියි ඊයේ පස්වරුවේ දී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් ඉන්ධන නොමැති වීමෙන් ධාරිතාව සහ සමබරතාව රැක ගැනීම සඳහා වරින්වර විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව නිවේදනය කළේ.
ඒ අනුවයි ඊයේ පස්වරු 2.30 සිට 9.30 තෙක් කාණ්ඩ 04ක් යටතේ පාරිභෝගික ජනතාවට පැයයි විනාඩි 45ක කාලයක් අඳුරේ සිටීමට සිදු වූයේ.
Share This Article