ඇමති ගම්මන්පිලගෙන් චෝදනාවක් (Video)
Tuesday, 18 January 2022 - 11:07 | Views - 711

ජනවාරි මාසයට ඩීසල් අවශ්‍ය නැති බව කී ලංකා විදුලිබල මණ්ඩලය එක්වර ම සිය වචනය වෙනස් කර ඉකුත් 11 වැනි දා ඉන්ධන ඉල්ලා සිටි බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල චෝදනා කරනවා.
ආනයනය කළ ඩීසල් තොග විදුලිබල මණ්ඩලයට ලබා දුන හොත් රථවාහන ධාවනය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නැති වන බැවින් එය කළ නො හැකි කාර්යක් බව යි ඇමැතිවරයා අවධාරණය කරන්නේ.
මේ වනවිට විදුලිබලය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නො මැති බව කී ඔහු, ලංකා විදුලි බල මණ්ඩලය තමන්ට ඩොලර් ලබා දුන හොත් අවශ්‍ය ඉන්ධන ආනයනය කර ලබාදිය හැකි බව පවසනවා.
රටේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන දහසක් වුවත් එයින් රටට නිශ්චිත ව ලැබෙන්නේ ඩොලර් මිලියන 750ක් පමණක් බව සඳහන් කරන ගම්මන්පිල අමාත්‍යවරයා, එයින් ඩොලර් මිලියන 400ක් ඉන්ධන සඳහා ලබාගැනීම යනු, අපනයන ලැබීම්වලින් 55%ක් ඉන්ධන සඳහා යෙදීමක් බවත් රට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය කිරීමට අපහසු දුෂ්කර වැඩක් බවත් අවධාරණය කරනවා.
අතිශය පීඩාකාරී වටපිටාවක සිටින තමාට විදුලිබලය සඳහා අවශ්‍ය ඩොලර් සෙවීම කළ හැකි කාරියක් නො වන බව කියන ඔහු, විදුලිබලය සඳහා අවශ්‍ය ඩොලර් සම්පාදනය කරගැනීම එම විෂය භාර බලධාරීන්ගේ කාර්යක් බව ද සඳහන් කළා.
Share This Article