පුංචි ඡන්දය වසරකින් කල් යයි - අමාත්‍යාංශ කිහිපයක විෂය පථයෙත් වෙනසක්
Tuesday, 11 January 2022 - 9:16 | Views - 722

පළාත් පාලන ඡන්ද විමසීම තවත් වසරකින් කල් දැමීමට රජය ඊයේ (10) තීරණයක කළා.
ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පළාත් පාලන ආයතන 340ක සභිකයන්ගේ ධුර කාලය 2023 වසරේ මාර්තු 19 වන දා දක්වා දීර්ඝ කරමින් ඊට මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළත්.
නගර සභා ආඥා පනත, මහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතේ වගන්තිවලින් පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින්.
අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයට අයත්ව තිබූ පළාත් සභා හා පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පනත සහ ආඥා පනත ඉන් ඉවත් කෙරුණා.
පසුව එය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
එලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පනත සහ ආඥා පනත ඉවත් කෙරුණේ ඔහු මේ වන විට දිවයිනේ නොමැතිවීම හේතු කරගෙනයි.
මැතිවරණය කල් දැමීමට නම් අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වනවා.
ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ විෂය පථය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් කෙරුණා.
ඉන් අනතුරුවයි එම විෂය භාරව සිටි අමාත්‍යවරයා වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඊයේ (10) මැතිවරණය වසරකින් කල් දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ.
එසේම පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්තගේ රාජ්‍ය අමාත්‍ය ධුරයට අයත් විෂය පථයන් ද වෙනත් අමාත්‍යාංශ යටතට පත් කර තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ බුද්ධ ශාසන අරමුදල, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට ඇතුළත් කරනු ලැබුවා.
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ද ඇතුළත් කෙරුණා.
මීට අමතරව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඉවත් කර ඒ යටතේ තිබූ සියලු ආයතන හා සුවිශේෂී කාර්යයන් අධිකරණ අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබෙනවා.
මීට අමතරව තවත් අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයකම විෂය පථයන් ඊයේ රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව වෙනස් වනු ඇති.
Share This Article