ඊයේ හදිසියේ ලැබුණු සහන (Video)
Tuesday, 04 January 2022 - 7:54 | Views - 523

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේ දී රටේ ආර්ථිකයට සහ ජනතාවට වැදගත් සහ සුබදායී වන තීරණ රැසක් ගනු ලැබුවා.
මෙම විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ, මුදල් අමාත්‍යාංශයේ දීයි.
ඒ අනුව මෙම මස සිට ජනතාවට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහන රැසක් ලබාදීමටයි තීරණය කෙරුණේ.
මෙම නව තීරණ අනුව , රාජ්‍ය සේවකයින්ට මෙම මස සිට වසරක කාලයක් පුරාවට වැටුපට අමතරව අතිරේක මාසික දීමනාවක් ලෙස රුපියල් 5000ක මුදලක් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.
එමෙන්ම මෙම 5000 දීමනාව විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇති.
රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදීමටත් මෙහිදී තීරණය කෙරුණු අතර, වතු ප්‍රජාවට සෑම මසකටම තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15ක් ලබාදෙන අතර, එය ලබාදෙන්නේ එක් කිලෝවක් රුපියල් 80ක මුදලකට බව ද එහිදී අවධාරණය කෙරුණා.
එමෙන්ම වී කිලෝග්රෑමයකට සහතික මිලක් නියම වු අතර, එය රුපියල් 75ක් යටතේ මිලදී ගැනෙනු ඇති.
නමුත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ තුළින් කිසිදු අයුරකින් සහල් මිල වැඩි නොවන බවයි.
මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 50ක මුදලක් ගෙවනු ලබන බවත් වැඩිපුර වී කිලෝවක් සඳහා රු.25ක් ගෙවීමෙන් ගොවීන්ට අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව පියවා ගත හැකි බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
වී මිල වැඩිකිරීම නිසා කිසිදු අයුරකින් පාරිභෝගිකයාට එම බර පැටවෙන්නේ නැති බවයි මුදල් ඇමතිවරයා මෙහිදී සහතික කර සිටියේ.
මිට අමතරව අපි වවමු – රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බව ද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
එමෙන්ම සමෘද්ධිලාභීන්ට මෙම මස සිට රුපියල් 1000ක මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කෙරෙනවා.
ගෙවතු වගාකරුවන්ට ද රජය යටතේ නව සහනයක් හිමිව ඇති අතර, එය මෙම මස සිට ක්‍රියාත්මක වන බවත්, එය මූල්‍යමය වශයෙන් රුපියල් 5000ක දීමනාවක්.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සියලු බදු මුදලින් නිදහස් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර තිබෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සඳහා නාමික බද්දක් පමණක් ක්‍රියාත්මක කරමින් මෙම බදු නිදහස ලැබෙනු ඇති.
අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු සහ සීනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතරට ඇතුළත් බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හිරු ප්රවෘත්ති වෙත සඳහන් කළා.
ඒ අනුව ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.
රට තුළ පවතින අසීමිත ආර්ථික පීඩනය අවම කර, ජනතාවට ආර්ථිකමය නිදහසක් සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමිනුයි රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ දිනවල රටේ සියලුම ක්ෂේත්රවල අත්‍යවශ්‍ය ආහාර මෙන්ම භාණ්ඩවල ද මිල ඉහළ යාමක් වාර්තා වූ අතර, ඇතැම් විචාරකයින් සඳහන් කළේ, එය මෙරට තුළ සිදු වූ ප්‍රථම සහ විශාලතම භාණ්ඩ මිල ඉහළ යාමක් බවයි.
මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පක්ෂ විපක්ෂ වේදිකාවෙන් ද ජනතාව මිරිකෙන ආර්ථික ක්‍රමය පිළිබඳව අදහස් පළ වුණා.
කෙසේවෙතත් ජනතාවට සහනයක් උදාකර දීම අරමුණිනුයි, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.
Share This Article