කුලී ගමනක් යන මුවාවෙන් රථය ඉස්සූ සැකකරු කොටු වූ හැටි (Video)
Monday, 27 December 2021 - 12:24 | Views - 2,295

නොවැම්බර් මස 30 වැනි දින කොළඹ සිට මහනුවර වෙත කිසියම් කටයුත්තක් සඳහා කුලීරථ රියැදුරකු සමග ගොස්, අතරමග දී අදාළ කුලී රථයේ රියැදුරු හට මගියා විසින් මත්පෙති ලබා දී, එම කුලීරථය පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වුණා.
එම සිදුවීමට මුහුණ පෑ කුලී රථ රියැදුරුව සැකකරු විසින් නිද්‍රා වීමට මත්පෙති ලබා දීමෙන් අනතුරුව මාවනැල්ල පිහිටි ලැගුම්හලකට ගෙන ගොස් මෙම මංකොල්ලය සිදු කර ඇති බවයි පැමිණිලිකාර පාර්ශ්වය මාවනැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත්තේ.
මෙම පැමිණිල්ලෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ලැගුම්හලෙහි ආරක්ෂිත කැමරාවේ සටහන් වූ වීඩියෝ දර්ශන කිහිපයක් ද සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදා හැරියා.
එවන් පසුබිමකයි, මෙම රියැදුරුට සිදු වූ ඛේදවාචකයට වගකිව යුතු සැකකරු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය මෙහෙවර සිදු කිරීම අරභයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිරු "මානය" වැඩසටහන මගින් සිද්ධියට මුහුණ පෑ මෝටර් රථයේ රියැදුරු සමග සිදුවීම සිදුව සතියක් ඉක්ම යන්නට පෙරාතුව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණේ.
මෙවන් තත්ත්වයක දී අදාළ අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කළ මාවනැල්ල පොලීසිය ඒ සඳහා කෑගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ ද සහාය ලබාගත්තා.
ඒ අනුවයි ඊයේ (26) කෑගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම සැකකරුව අත් අඩංගුවට ගත්තේ.
අදාළ සැකකරු කොල්ලකන ලද වැගන් ආර් වර්ගයේ මෝටර් රථයේ වටිනාකම රුපියල් 43 ලක්ෂය ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම සැකකරු විසින් මීට ඉහත දී සීදුව පොලිස් වසමේ දී කාර් රථයක් ද, ජා ඇල දී ත්‍රී රෝද රථයක් ද, සොරකම් කර විකුණා ඇති බවට හෙළි වී ඇති අතර, මෙලෙස සොරකම් කළ වැගන් ආර් රථය ද නිවිතිගල - කරවිට ප්‍රදේශයේ දී විකුණා තිබිය දී යි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සොයා ගනු ලැබුවේ.
33 හැවිරිදි සැකකරු එපිටවල - කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මොහු මෙම කූඨ ව්‍යාපාරය සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය හරහා බවට ද මේ වන විට පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට අත්අඩංගුවට ගත් සැකකරුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මාවනැල්ල පොලීසිය වෙත භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.
Share This Article