ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොලට නිකුත් කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය අද(17)දින නියෝග කළා.
ඒ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව, දැනට වෙළඳපොලට මුදා හැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙස ද, අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කළා.
එමෙන්ම, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසයි, අධිකරණය මෙම සමාගම් දෙකට නියම කළේ.
දැනට පාරිභෝගිකයින් සතුව පවතින අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ක්‍රමවේදයක් සකස් කරන ලෙස විනිසුරු මඩුල්ල පාරිභෝගික අධිකාරියට නියෝග කළා.
මෙහිදී ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ කියා සිටියේ, ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරිම සඳහා විශේෂ රැස්වීමක් ලබන සඳුදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය හදිසියේ ඊයේ(16) දින පැවැත්වූ බවයි.
ඒ අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය සියයට 30 ක් ලෙස විය යුතු බවට එහිදී තීරණය කර ඇති බව ද, රජයේ නීතිඥවරයා අනාවරණ කළා.
මේ අතර, ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල සභාපතිවරුන් දෙදෙනා, කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට අද කැඳවා තිබුණා.
ඒ ගෑස් සිලින්ඩරවල ගුණාත්මකභාවය ගැන කළ පැමිණිලි දෙකකට අනුව එහි සාක්ෂි විභාගය සඳහායි.
මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ හිරු මග හැර ගියා.
ලිට්රෝ ගෑස් සමාගම අද පුවත්පත්වල විශේෂ නිවේදනයක් පළ කර තිබුණා.
එමගින් ඔවුන් සිය අලෙවි හා බෙදා හැරීමේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණේ දැනට වෙළඳපොල තුල ඇති නිල් සහ කලු මුද්‍රාව සහිත කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සහිත සිලින්ඩර නැවත එකතු කර ගන්නා ලෙසයි.
පාරිභෝගිකයන්ගෙන් ද ලිට්රෝ සමාගම එම නිවේදනය මගින් ඉල්ලා ඇත්තේ, ඉහත පරිදි තමන් සතු ලිට්රෝ ගෑස් සිලින්ඩර නැවත භාර දෙන ලෙසයි.
නැවත භාර දුන් ගෑස් සහිත සෑම සිලින්ඩරයක් සඳහාම රතු මුද්‍රාව සහිත නව සිලින්ඩරයක් ලබා දිය යුතු බව නිවේදනය මගින් දන්වා තිබෙනවා.
පාරිභෝගිකයන් විසින් නැවත ලබාදෙන ගෑස් සිලින්ඩර කඩිනමින් සමාගම වෙත භාර දිය යුතු බව ද, ලිට්රෝ සමාගම සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර, ලිට්රෝ සමාගම ගෙන්වූ නව ගෑස් නෞකාවේ ප්‍රමිති පරීක්ෂණ වාර්තාව අද ලැබීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.
පසුගිය සෙනසුරාදා පැමිණි පළමු නෞකාවේ අඩංගු ගෑස් නිසි ප්‍රමිතියෙන් තොර බවට මේ වනවිටත් හෙළි වී ඇති අතර, එම තොග ගොඩබෑම අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත්, ලාෆ් සමාගම පවසන්නේ, සිය සමාගම මගින් ඇණවුම් කළ ගෑස් සහිත නෞකාවක් හෙට දිනයේදී දිවයිනට ළගා වන බවයි.
ඒ අනුව සඳුදා දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම යළි ආරම්භ කරන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය හිරු ප්රවෘත්ති වෙත කියා සිටියා.
ගෑස් සිලින්ඩරයක උපරිම පීඩනය බාර් 6 ක් වුවත්, මේ වනවිට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩරවල පිඩනය බාර් 5.3ක් බව හෙළි වී ඇතැයි, මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත දැනුම්දී තිබෙනවා.
එහි වැඩිදුරටත් සටහන්ව ඇත්තේ, එය 4.2 දක්වා අඩු කිරිම වඩාත් යෝග්‍ය බවයි.
හෝමාගම - පිටිපන පිහිටි මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේදී ගෑස් වල පීඩනය පරීක්ෂා කිරීම සිදුවුණා.
එමෙන්ම, ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම සිය ගෑස් අලෙවිය නවතා දැමීමත් සමඟ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් අලෙවි නියෝජිතයන් සිය අලෙවි ස්ථානවල දර අලෙවි කරන ආකාරය අප වාර්තාකරුවන් නිරීක්ෂණය කර තිබුණා.
බණ්ඩාරගම - එපිටමුල්ල දොලවත්ත පාරේ ගෑස් උදුනක් ඊයේ රාත්‍රියේ පුපුරා ගොස් ඇති බව වාර්තා වුණා.
මේ අතර හිරු ටී.වී. බලය දේශපාලන වැඩසටහන ඊයේ වෙන්වූයේ ගෑස් අර්බුදය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහායි.
එම සාකච්ඡාවට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන සමගින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එක්ව සිටියා.