යළිත් ඩොලර් ඉල්ලන - කිරිපිටි ආනයනකරුවන්
Tuesday, 14 December 2021 - 13:28 | Views - 1,076

කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ, ඩොලර් හිඟයට විසදුම් ලබා නො දුන හොත් ආනයනික කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇති බවයි.
ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ඇණවුම්වලින් ආනයනය කළ හැකි වන්නේ සියයට 50ක පමණ ප්‍රතිශතයක් බව ද කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දෙනවා.
එසේම ආනයනික කිරිපිටිවල මිලෙහි යළි සංශෝධනයක් සිදු විය යුතු බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේ.
කෙසේ වෙතත්, රට තුළ මතු ව ඇති ඩොලර් ගැටලුවත් සමඟ ආනයන තවදුරටත් සීමා කිරීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බවයි ඔහු එහි දී ප්‍රකාශ කර ඇත්තේ.
ආනයනික කිරිපිටි මෙන්ම වෙළෙදපොළේ මේ වනවිට දේශීය කිරිපිටිවල ද හිඟයක් හටගෙන තිබෙනවා.
මේ අතර, මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 10,000ක පමණ තොගයක් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක තිබිය දී සොයා ගැනුණා.
මෙම සීනි තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති අතර ඒවා ඩුබායි සිට ගෙන් වූ සීනි බවට ඇඟවීමට ඇසුරුම් වෙනස් කර ඇති බවයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.
Share This Article