
ඔහු එළිපිටම කීවේ ශ්‍රී ලාංකික කළමනාකාරවරයාගේ ඝාතනයට හවුල් වූ කිසිවකුට සමාව නොදෙන බවය. ඊට අමතරව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානු ජාතික මලික් අද්නාත් වෙත සම්මානයක් පිරිනමන බවය. ඒ සම්මානය පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන ටට්සා අධි සුජාත සම්මානයයි.
මීට අමතරව පකිස්තානු සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එක්වී ප්‍රියන්තගේ දරු පවුලට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිත බවද වාර්තා වේ. එමෙන්ම ඔහු කළමනාකරුවකු ලෙස සේවය කළ රාජ්කෝ කර්මාන්ත ශාලාවේ ප්‍රධානියා තීරණය කොට ඇත්තේ ප්‍රියන්ත ලැබූ වැටුප දිගටම ඔහුගේ පවුලට ලබා දෙන්නටය.
එහෙත් ප්‍රියන්ත කුමාර දියවඩනගේ බිරිය නිලුෂි දිසානායක බලාපොරොත්තු වන්නේ ඒ හැම දේකටම වඩා වෙනස් දෙයකි. ඒ තම ස්වාමි පුරුෂයාගේ කෲර ඝාතනය වෙනුවෙන් ලැබිය යුතු නීතියේ සාධාරණත්වයය.
තම ආදරණීය ස්වාමි පුරුෂයාගේ හත් දවසේ දානය දා ඇය ඉල්ලා සිටියේද ඒ මානුෂික ඉල්ලීමය.
“මම මෙතෙක් මිල මුදල් ගැන, ලැබෙන දේවල් ගැන මොකුත්ම දන්නේ නෑ. ඒවා ගැන කතා කරලත් නෑ. මට ඕනෑ මගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ මරණයට වගකිව යුතු අයට නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා බලන්න විතරයි.”
“එයා දරුණු මනුස්සයෙක් නෙමෙයි. කිසිම ආගමක් පහත් කරලා කතා කරන කෙනකුත් නෙමෙයි. එහෙම නම් කොහොමද 2010 ඉඳලා අවුරුදු 11ක් පාකිස්තානය වගේ රටක ඉස්ලාම් ආගම ඉහළින්ම අදහන සේවක පිරිසක් එක්ක එයා වැඩ කළේ?
දැන් ඔය ඝාතකයෝ බොරු කාරණාවක් ඉස්මතු කරලා බේරෙන්න මඟක් හොයනවා. අසත්‍ය කතා හදනවා. ආගමට සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මැරුවා කිව්වහම මේ අයට බේරෙන්න පහසුයි කියලා හිතනවා ඇති.”
නිලූෂි දිසානායක දෙදරු මව එසේ කීවේ කඳුළු පිරි දෑසින් යුතුවය.
සියල්කොට් නගරයේ ස්ථාපිත වී ඇති රාජ්කෝ කර්මාන්ත ශාලාවේ කෙරෙන්නේ ඇඟලුම් නිෂ්පාදනය. ඒ නිෂ්පාදන අතර වැඩිපුර තිබෙන්නේ ක්‍රිකට්, පාපන්දු, රගර්, ෆුට්බෝල් වැනි ක්‍රීඩාවලට යොදා ගන්නා නිල ඇඳුම්ය. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය නිල ඇඳුම් මසන්නේත් ප්‍රියන්ත කළමනාකාර ධුරය දරන මේ ඇඟලුම් ආයතනයේය.
ආරම්භයේදී මහන මැෂින් 300කින් සමන්විත වූ මේ කම්හල ප්‍රියන්ත කුමාරගේ කළමනාකාරීත්වයේ තිබූ දක්ෂතාව නිසාම මැෂින් 2500ක් දක්වා දියුණු විය. මේ නිසාම ආයතනයේ අයිතිකරුට ප්‍රියන්ත ගැන තිබුණේ පුදුමාකාර පැහැදීමකි.
“දැන් ඔය සිද්ධිය වූ දවසේ ඒ ඝාතකයෝ කියන්නේ ඉස්ලාම් ආගමට සම්බන්ධ පෝස්ටරයක් ගලවා දැමීම නිසා මේ වගේ පහරදීමක් හා ඝාතනයක් සිදු කළා කියලනේ. මගේ මහත්තයා ඒ තරම්ම මෝඩද? අවුරුදු ගාණක් ඒ සමාජයේ ජීවත්වුණු ඔහු මේ සම්බන්ධව දැන සිටියේ නැද්ද? මම අපේ රජයනුත් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලයි.”
ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිටුපස ඇති කතන්දරය අන්තවාදීන් එසේ වෙනස් කිරීමට උපක්‍රම යෙදුවත් ඊට ආසන්නම හේතුව ලෙස දැනට පෙනෙන්නට තිබෙන්නේ මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දින කිහිපයක සිට පැවැති වැඩ වර්ජනය හා ඒ තත්ත්වය සමනය වූ පසුව හටගත් පවිත්‍රතා කටයුතු සම්බන්ධ ප්රශ්නයකි.
ඒ අනුව මෙම පවිත්‍රතා කටයුතු නොකර මඟහැර සිටි සුළු සේවකයකුට ප්‍රියන්ත කුමාර ෙදාස් පවරා ඇත. ඒ ෙදාස් පැවරීම ආගමික අන්තවාදය කරා ගෙන ගොස් අමන සේවකයන් උසි ගන්වනු ලැබ ඇත්තේ කළමනාකාරවරයා ගැන හටගෙන තිබූ වෛරය පළිගැනීමකට හරවාගෙනය. ඒ අනුව සේවකයා තමාට හිතවත් සේවක පිරිසක් සමඟ කළමනාකාරවරයාගේ කාමරයට කඩා වැදී ප්‍රියන්ත කුමාරට පහර දී ඇත්තේ තුච්ඡ ආකාරයටය.
ආරක්ෂාවක් නොමැතිව, තනිව සිටි ප්‍රියන්ත නිරුවත් කර පොලු, මුගුරුවලින් පහර දෙමින් දරුණු හිංසාවට ලක්කර ඇති මේ පාපතරයෝ ඊළඟ තත්පරයේදී ඔහු ඇදගෙන විත් ගිනි තබා ඇත්තේ අවසන් හුස්ම පිටවීමටත් පෙරය. අදාළ වීඩියෝ නිරීක්ෂණය කරද්දී ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත.
මේ සිදුවීම වී ඇත්තේ 2021 දෙසැම්බර් 03 වැනිදා දහවල්ය. එදා උදේ 11.20ට පමණ තම බිරිය වෙත වට්ස් ඇප් පණිවුඩයක් තබමින් ප්‍රියන්ත කුමාර පවසා ඇත්තේ තමා හොඳින් සිටින බවය. වැඩ රාජකාරි අධික බවය.
“මහත්තයා හැමදාම එහෙම තමයි. හුඟක් වැඩ තිබුණොත් මැසේජ් දාලා එහෙම කියනවා. ඊට කලින් දවසක් මම කතා කළාම හුඟක් කාර්ය බහුලයි. රෑ වෙලා කෝල් කරන්නම් කිව්වා. ඊට පස්සේ රෑ වෙලා කතා කළා. දරුවන්ගේ, මගේ විස්තර ඇහුවා. ඒ තමයි අන්තිම ඇමතුම.”
කෙසේ හෝ ඊට පසුදා එනම් ඉස්ලාම් ආගමිකයන්ගේ ජුම්මා දිනයේ දහවල් ප්‍රියන්ත කෲර ලෙස ඝාතනය විය. මේ ඝාතනය සිදුවන වෙලාවේදී ගණේමුල්ල, පොකුණ හන්දිය යාබදව ඇති නිවෙසේ සිටි
“මට කාලෙක ඉඳලම උරහිස ප්‍රදේශයෙන් පහළ රිදෙන්න ගන්නවා. ඒක නිකම් දරා ගන්න බැරි වේදනාවක්. ඒක නැති වෙන්නෙ ටිකක් මසාජ් කළාමයි.
මහත්තයා මේක දන්නවා. ඒ නිසාම එයා මට එව්වා කෘත්‍රිම විධියට හදපු අතක් තිබෙන උපකරණයක්. ඒක පාවිච්චි කරලා තමයි මම ඒ වේදනාව නැති කර ගන්නේ.
ඉතින් එදා ආපු වේදනාව නම් ටිකක් වැඩියි. මට දහඩියත් දමන්න ගත්තා. අන්තිමට විදුලි පංකාව හොඳටම වැඩි කරලා තමයි මම මොහොතක් ඒ වේදනාව නැති වනතුරු හිටියේ...
දැන් මට හිතෙනවා මගේ මහත්තයට දරුණු විධියට පහරදීලා මරා දාපු වෙලාවෙමද මේ වගේ වේදනාවක් මගේ ඇඟට දැනුණේ කියලා. මට ඒක මතක් වෙද්දී දැනුණ දුක කියලා නිම කරන්න බැහැ.”
ප්‍රියන්ත කුමාරට පහරදී කෲර ලෙස ඝාතනය කර ඇතැයි පැවසෙන ප්‍රවෘත්තිය පවා නිලූෂිට ලැබුණේ ඉර අවරට ගොස් පැයක් පමණ ගතවූ පසුවය. ප්‍රියන්තගේ පවුලේ අය ඒ අසුබ ආරංචිය ඇයට ක්ෂණිකව ලබා නොදුන්නේ එය ඉවසා දරා ගැනීමට බැරි නිසාමය.
“ඊට පස්සේ මම රෑ නිවුස් බැලුවා. ඒකෙදි තමයි මම දැනගත්තේ. ඇත්තටම මට ඒක හිතා ගන්න බැරි වුණා. විශ්වාස කරන්න බැරි වුණා. කාටවත් කරදරයක් නැති, මත්පැන්, සිගරට් පාවිච්චියක් නැති, මස් මාංස අනුභව කරන්නේ නැති මගේ මහත්තයට මේ වගේ විපතක් වුණේ කොහොමද කියලා. මට අදටත් ඒක ප්‍රශ්නයක්!
ප්‍රියන්ත කුමාර දෙදරු පියකු බව අපි ඔබට මුලදී මතක් කළෙමු. ඔහුගේ පළමු දරුවා ඉගෙනුම ලබන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේය. 9 වැනි ශේර්ණියේ ඉගෙනුම ලබන ඔහුගේ අනාගත බලාපෙරොත්තුවත් පියා මෙන් ඉන්ජිනේරුවකු වීමටය. දෙවැනි පුතා වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ 4 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබයි. දැන් මේ දරු දෙදෙනාගේම පිය සෙනෙහස අර පාපතරයෝ උදුරාගෙනය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධිය ලබාගත් ප්‍රියන්ත කුමාර 2010 වසරේදී පාකිස්තානයට ගියේ තම සහෝදරයන් ඒ වන විටත් ඒ රටේ රැකියාවල නිතරව සිටි නිසාය. ඔවුන් සේවය කළෙත් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවලය. එහෙත් මේ වන විට ඔවුහු නැවත මවු රටට පැමිණ සිටිති.
ඒත් අපේ සබඳතා තවම තිබෙනවා. මල්ලි වැඩ කරපු සමාගමේ හිමිකරු මට කතා කළා. මේ ප්රශ්නය හින්දා ආයතනය කඩා වැටෙයි කිව්වා. මල්ලි එතරම්ම දක්ෂ විධියට වැඩකටයුතු කළා කිව්වා. ඔහු කියන්නේ ජාත්‍යන්තරව ඔහුගේ ආයතනයට කීර්තිය ලබාදුන්න මල්ලිගේ ඝාතනයත් එක්ක ප්‍රශ්න ගොඩක් පැනනැඟී තිබෙනවා කියලයි.” එසේ කියුවේ ප්‍රියන්තගේ වැඩිමහල් සොයුරු කමලසිරිය.
කෙසේ හෝ මේ වන විට ලැබී තිබෙන තවත් ආරංචි බොහොමයකට අනුව ප්‍රියන්ත මරා දැමීම පිටුපස ඇත්තේ හිතාමතාම සංවිධානය වී කළ පළිගැනීමක් හැටියටය. පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා දැන් පොලිසියට උපදෙස් දී ඇත්තේ ඒ මුරුගයන් අත්අඩංගුවට ගෙන නීතියෙන් ලැබිය යුතු උපරිම දඬුවම දෙන ලෙසය. අප විමසිල්ලෙන් සිටින්නේ අපේ වගකිව යුතු උදවිය මේ කෲර ඝාතනය ගැන රටක් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනය.
“හැමදේම ටික දවසකින් අමතක කරලා දමනව වගේ මේකත් අමතක කරලා දාන්න එපා...!. මගේ දරුවන්ට, මට, ඒ වගේම රටට සාධාරණයක් වෙන විධියට මේ සිද්ධිය සම්බන්ධව හොයලා වගකිවයුතු හැමෝටම දඬුවම් දීමට කටයුතු කරන්න. මම පාකිස්තානු බලධාරීන්ගෙන් වගේම අපේ රටේ අයගෙනුත් ඉල්ලන්නේ එච්චරයි.”
අවසානයේදී නිලූෂි දිසානායක කීවේ කඳුළු පිරුණු දෑසිනි.
සමන් ප්‍රියංකර නම්මුනිගේ
55 Views
218 Views
116 Views
102 Views
87 Views
103 Views
98 Views
69 Views
144 Views
84 Views
106 Views
172 Views
203 Views
669 Views