දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසනවා.
“දේශීය වෙදකම ජාත්‍යන්තරයට” මැයෙන් අද (09) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
කොවිඩ් වසංගත පශ්චාත් සමය තුළ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සහ දේශීය ඖෂධවලට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් හිමිව ඇති අතර, එබැවින් නව සැලසුම් ඔස්සේ ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට මෙය වටිනා අවස්ථාවක් බවයි ආයුර්වේද කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේ.
බටහිර, දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමය මනා ලෙස සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ සේවාවක් සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.
බෝ නොවන රෝග නිවාරණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පාසල් මට්ටමින් සහ ගෙයින් ගෙට යමින් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර, දේශීය ආහාර රටාවන් සඳහා ජනතාව හුරු කිරීම සහ වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මෙම හමුවේදී කියා සිටියා.
මෙම අවස්ථාවට ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.